
කොල්ලුපිටිය, ආර්.ඒ. ද මෙල් මාවතේ මුහන්දිරම් පාරේ පිහිටි මිරකල් කලම්බු සිටි ළැගුම් හලේ නතරවී සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු හදිසි රෝගී තත්ත්වයකට ලක්ව රෝහල්ගත කර සිටීමෙන් පසු මරණයට පත්වීම ආහාරයක් හෝ පාන වර්ගයක් විෂවිමක් ලෙස දැන් සැක කර තිබේ.
24ක් වයසැති බ්‍රිතාන්‍ය තරුණියක 2 වනදාත් ජර්මන් ජාතික කාන්තාව 3 දා රාත්‍රියේදීත් මියගොස් තිබේ.
තරු දෙකේ 'හොස්ටලයක්' ලෙස නම් කර තිබෙන මෙම ළැගුම් හල තාවකාලිකව වසා දැමීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොල්ලුපිටිය පොලීසිය විසින් ඊයේ (3) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර විමර්ශන වාර්තාවක් අනුව මෙම නියෝගය අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කර මෙම ස්ථානය දිගටම විවෘතව තැබීමට සුදුසුද යන්න තීරණය කරන තෙක් මෙම වසා දැමීමේ නියෝගය බල පැවැත්වෙනු ඇත.
මියගිය තරුණියන්ගේ ඥාතීන් පැමිණ ඇයගේ මෘත දේහය හඳුනාගැනීමෙන් අනතුරුව මෘත පරීක්ෂණය සිදු කරනු ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පෙබරවාරි 2 වන දින, මෙම නවාතැනේ රැඳී සිටි විදේශිකයින් තිදෙනාම රෝගාතුර වී රෝහල්ගත කර තිබුණි.
මුලින් මියගිය තරුණිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි තැනැත්තියයි. ඇය හදිසියේ රෝගාතුර වී ඇති අතර වමනය දැමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. ඇගේ තත්ත්වය බරපතල ලෙස පිරිහීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, රෝහලේදී මියගොස් තිබේ. ඇය සමඟ එම කාමරයේ රැඳී සිටි ජර්මන් යුවළද විෂ වීමේ ලක්ෂණ පෙන්නුම් කර බරපතල වූ අතර කොළඹ ජාතික රෝහලේදී ජර්මානු තරුණිය මියගිය අතර ජර්මානු තරුණයා තවම ප්‍රතිකාර ලබමින් සිටී.
මියගිය කාන්තාවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට ප්‍රකාශ කරමින් සඳහන් කළේ මියගිය එක් තැනැත්තියක බ්‍රිතාන්‍ය ජාතික වයස 24ක තරුණියක් බව තහවුරු කර ඇති නමුත් වැඩිදුර තොරතුරු මේ අවස්ථාවේ හෙළි නොකරන බවයි.
මෘත පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයන් පැමිණ මෘත දේහය හඳුනාගැනීමෙන් පසු සිදු කෙරෙනු ඇත.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෑත කාලයේ මෙවැනි තවත් අවාසනාවන්ත සිද්ධියක් වියට්නාමයේදී වාර්තා වී තිබේ. නත්තල් සමයේදී බ්‍රිතාන්‍ය ජාතික යුවළක් වියට්නාමයේ අවන්හලකින් මිලදී ගත් ගෘහස්ථව නිපදවූ ලිමන්සෙලෝ පානයක් පානය කිරීමෙන් පසු මියගොස් තිබේ. පසුව හෙළි වූයේ එම පානයේ මෙතනෝල් මිශ්‍ර කර තිබූ බවයි.
මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇති කළ හැකි අතර, සංචාරක නවාතැන් සේවා සපයන ආයතනවල ආරක්ෂාව හා ප්‍රමිතීන් පිළිබඳව නව සාකච්ඡාවක් ඇති වී තිබේ. විශේෂයෙන් විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නීතිරීති තවදුරටත් තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්නුම් කර ඇත.

0 Comments