court-rejects-sri-lanka-bar-associations-request-to-suspend-election

කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට (19) පැවැත්වීමට නියමිත නිලවරණය අත්හිටුවීම සඳහා නීතිඥ ලිලන්ති ද සිල්වා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද වාරණ නියෝග ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (17) දින මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.



දිසා විනිසුරුවරයා සිය තීරණය දැක්වීමේදී සඳහන් කළේ පැමිණිල්ලේ ප්‍රථම බැල්මට ජයග්‍රහණය කළ හැකි නඩුවක් ගොඩනගා නොමැති බවයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධූරය සඳහා ඉදිරිපත්ව සිටින නීතිඥ රජීව් අමරසූරිය හා නීතිඥ ආචාර්ය සුනිල් අභයරත්න මහත්වරුන් ඇතුළු මැතිවරණ තේරීම් භාර නිලධාරීන් දොළොස් දෙනෙකු නම් කර තිබිණි.



පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, සභාපතිධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබූ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා තරඟයෙන් ඉවත් වීමෙන් පසු ඉතිරි අපේක්ෂකයින් දෙදෙනා අතර පමණක් මැතිවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ජනාධිපති නීතිඥ ජයසූරිය මහතා තවදුරටත් පෙන්වා දුන්නේ නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම අපේක්ෂකයෙකු මිය යෑමට සමාන තත්ත්වයක් බවත්, එවැනි අවස්ථාවක නාම යෝජනා නැවත කැඳවීම ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් බවත්ය. ඒ අනුව ඔහු නාම යෝජනා යළි කැඳවා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම තර්කයට විරුද්ධ වූහ. ඔවුන් පෙන්වා දුන්නේ අනුර මැද්දෙගොඩ මහතා තරඟයෙන් ඉවත් වූයේ ස්වකැමැත්තෙන් බවත්, එවැනි ස්වේච්ඡා ඉල්ලා අස්වීමක් අපේක්ෂකයෙකුගේ මරණයකට සමාන කළ නොහැකි බවත්ය. මේ අනුව නීතිඥ සංගමයේ නිලවරණය නීත්‍යානුකූලව පැවැත්විය හැකි බව ඔවුහු තර්ක කළහ.

දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් දිසා විනිසුරු විතාන මහතා, සිය නියෝගයේදී විශේෂයෙන් සඳහන් කළේ අනුර මැද්දෙගොඩ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව දින 09කට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ බවත්, පැමිණිලිකාරිය මෙම පෙත්සම ගොනු කිරීමට දින 09ක් ප්‍රමාද වී ඇති බවත්ය.

එමෙන්ම, නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවට සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා, වගඋත්තරකරුවන්ට යම් විරෝධතා ඇත්නම් ඒවා මාර්තු 03 වන දින ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

මෙම නඩු විභාගයේදී පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්‍රි, ඉක්‍රාම් මොහොමඩ් යන මහත්වරුන් සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ.