supreme-court-orders-to-pay-compensation-to-a-youth-who-was-subjected-to-brutal-torture-by-the-police

අනුරාධපුර පොලීසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම තරුණයාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.



2020 වසරේ ඔක්තෝබර් මස 03 වැනිදා දහවල් 1.30ට පමණ යකල්ල ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකමක් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඔහුගේ අත් සහ පාද බැඳ එල්ලා පොල්ලකින් පහර දී ඇත. සොරකම පිළිබඳ පාපෝච්චාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන්, පෙත්සම්කරු එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට ජලය හෝ ආහාර ලබා නොදී පැය ගණනාවක් තිස්සේ වධහිංසා පමුණුවා ඇත.



පසුව හිස් කඩදාසියකට පෙත්සම්කරුගේ ඇඟිලි සලකුණු සහ අත්සන් බලෙන් ලබාගෙන, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් බවට බොරු චෝදනා එල්ල කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.

දැඩි තුවාල ලැබූ පෙත්සම්කරු පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත. රෝහලේදී වගඋත්තරකරු පොලිස් නිලධාරීන් පැමිණ තමන් අතින් සිදුවූ වරදක් බව පිළිගනිමින්, ඒ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිට ඇති අතර, ගොනුකර තිබූ චෝදනා ද ඉල්ලා අස්කරගෙන තිබේ.



අනුරාධපුර, මීගොඩවැව පදිංචි සචිත්ත ප්‍රභාත් විජේරත්න නැමැති තරුණයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් නිලධාරීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කර තිබේ.

සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මේ වන විට මියගොස් ඇති බැවින්, අනෙක් නිලධාරීන් වන පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන දෙදෙනා තම පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවට නියම කර ඇත. මීට අමතරව එම නිලධාරීන් දෙදෙනා විසින් රුපියල් 25,000 බැගින් නඩු ගාස්තු ද පෙත්සම්කරුට ගෙවිය යුතු අතර, එම මුදල් මාසයක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවට නියෝග කර තිබේ.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂයෙන් පෙන්වා දී ඇත්තේ පොලීසිය නීතිය අබිබවා ගොස් තමන්ට පැවරී තිබෙන බලය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බවයි.

අසත්‍ය චෝදනා මත අනවශ්‍ය ලෙස පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ බලය අහිමි හා වරප්‍රසාද නොමැති පිරිස් පොලීසියේ අමානුෂික ක්‍රියාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය කනගාටුදායක තත්ත්වයක් ලෙස අධිකරණය නිරීක්ෂණය කර ඇත.

මෙම නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. මෙම තීන්දුව මගින් පොලිස් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති අතර, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද පැහැදිලි සංඥාවක් ලබා දී තිබේ.