
උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි යකට අධික රාජ්‍ය මූල්‍ය හානියක් සිදු කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ පසුවන වැඩබලන විදුහල්පතිවරයෙකු ඕනෑම ඇප කොන්දේසියක් මත නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අධිකරණ තීරණයට අනුව, අනුරාධපුර තම්මැන්නාකුලම ප්‍රදේශයේ පදිංචි, ඇද්දත්කල්ල රාහුල විද්‍යාලයේ වැඩබලන විදුහල්පති එම්.එම්. කරුණාරත්න රාජපක්ෂ මහතා පෙබරවාරි 14 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම්වලට අනුව, සැකකරු විසින් තම පාසලට ලැබුණු 11 ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම විෂයයන්හි අවසන් වාර විභාග ප්‍රශ්න පත්‍ර බහා තිබූ මුද්‍රා තබන ලද පාර්සල් නීති විරෝධී ලෙස විවෘත කර ඇත. ඉන් අනතුරුව ගුරුවරයෙකුගේ ජංගම දුරකථනය භාවිතා කර එම ප්‍රශ්න පත්‍රවල ඡායාරූප ලබාගෙන, තඹුත්තේගම ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුට වට්ස්ඇප් මගින් යවා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් උතුරු මැද පළාතේ සියලුම පාසල්වල 2024 අවසන් වාර විභාගය සඳහා සකස් කර තිබූ ප්‍රශ්න පත්‍ර අවලංගු කිරීමට සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම හේතුවෙන් රජයට රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට (රු.11,500,000) අධික මූල්‍ය හානියක් සිදුව ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් තහවුරු කර ඇත.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර ඇත. පොලිසිය පවසන පරිදි තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙයි. නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සැරයන් සරත් මහතා පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේය. මේ වන විට සැකකාර වැඩබලන විදුහල්පතිවරයාගේ රාජකාරී කටයුතු තහනම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval