
ඊයේ (පෙබරවාරි 21) සවස හික්කඩුව නාරිගම වෙරළ තීරයේදී දිය නෑමට ගිය රුසියානු ජාතික සංචාරකයෙකු දියවැලකට හසුවී මරණයට පත්ව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමේ ගොදුරට වී ඇත්තේ මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියානු ඉංජිනේරුවරයෙකි. ඔහු සිය බිරිඳ සමඟ මීට සති දෙකකට පෙර මෙරටට පැමිණ සිට ඇති බව සංචාරක මාර්ගෝපදේශකයා විසින් තහවුරු කර ඇත.
වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු අනුව, සංචාරකයා දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරා ගැනීම සඳහා මාර්ගෝපදේශකයා ක්ෂණිකව දියට පැන ඇත.
කෙසේ වෙතත්, මුලදී ඔහුව සොයා ගැනීමට නොහැකි වූ අතර, පසුව මුහුදු පතුල පරීක්ෂා කිරීමේදී ඔහු ගල්පරයක් දෑතින් තදින් අල්ලාගෙන සිටි ආකාරයෙන් හමු වී තිබේ.
ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් ඔහුව වහාම ගොඩබිමට ගෙන ඒමට කටයුතු කළද, එවන විට ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව තහවුරු වී ඇත. මෘත දේහය එදිනම රාත්‍රියේදී බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අද දින එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හික්කඩුව පොලීසිය විසින් සිදු කරමින් පවතී.
