
හාලිඇළ පශු වෛද්‍ය කාර්යාලයේ හිටපු සේවකයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පශු වෛද්‍යවරියගේ ව්‍යාජ අත්සන් සහ නිල මුද්‍රා යොදා ගවයින් ප්‍රවාහනය සඳහා අවසරපත් නිකුත් කිරීමේ වංචනික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා ලබා 24 වන දින බදුල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචනික ක්‍රියාව සිදු කිරීම සඳහා, පසුගිය කාලය තුළ අස්ථානගත වූ බවට වාර්තා වූ අවසරපත් ලබා දීමට අදාළ පෝරම් සහිත පොත් තුනක් සැකකරු විසින් යොදාගෙන ඇති බව විමර්ශන කරන නිලධාරීන් සඳහන් කරයි. මෙම අස්ථානගත වූ පොත් පිළිබඳව හාලිඇළ ප්‍රාදේශීය ලේකම්වරයා සහ හාලිඇළ පශු වෛද්‍යවරිය විසින් පොලිසියට කලින් පැමිණිලි කර තිබූ බව තහවුරු වී ඇත.
සැකකරු විසින් නිකුත් කර ඇති කූට ලේඛනවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පශු වෛද්‍යවරියගේ නිල මුද්‍රාවලට සමාන වන නිල මුද්‍රාවන් භාවිතා කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම කූට ලේඛන මගින් ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා කොපමණ පුද්ගලයින් සංඛ්‍යාවකට අවසරපත් නිකුත් කර ඇත්දැයි
මේ වන තෙක් හඳුනාගෙන නොමැති බවත්, ඒ පිළිබඳව ද විමර්ශන දිගටම සිදු කරන බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම විමර්ශන කටයුතු බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ සහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. ජයවර්ධන මහතා සහ පොලිස් සැරයන් නන්දසේන (34153) යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරු 24 වන දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval