
ඉංගිරිය ප්‍රදේශයේ පැවති දානමය පිංකමක් අතරතුර සිදුවූ ආරවුලකදී හිටපු පොලිස් නිලධාරියකුට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකළ 24 හැවිරිදි තරුණයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට, වාද්දුව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ නැන්දනියගේ අභාවය වෙනුවෙන් ඉංගිරිය පොලිස් වසමට අයත් හඳපාන්ගොඩ, වෙලඉහළ ප්‍රදේශයේ නිවසක තෙමස් දානමය පිංකමක් සංවිධානය කර තිබුණි. මෙම පිංකමට සහභාගී වීමට පැමිණි පිරිස අතර හිටපු පොලිස් නිලධාරියකු ද විය.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි, මෙම දානමය පිංකමට සහභාගී වීමට පැමිණ සිටි පිරිසක් එහි පරිශ්‍රයේදී "බූරු" නමින් හඳුන්වන සූදු ක්‍රීඩාවේ යෙදී සිටි අතර, එහිදී ක්‍රීඩා කරමින් සිටි පිරිසක් සහ හිටපු පොලිස් නිලධාරියා අතර යම් මත ගැටුමක් ඇති වී තිබේ. මෙම ආරවුල උග්‍ර වී ඇති අතර, සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිසෙන් කෙනෙකු හිටපු පොලිස් නිලධාරියාගේ හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇත.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පහරදීම සඳහා තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.
මේ වන විට ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ ඉතිරි පුද්ගලයන් දෙදෙනා සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දිගටම පවත්වාගෙන යනු ලැබේ.
හොරණ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි, ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී. කොල්ලුරේ මහතාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval