ex-engineer-arrested-in-china-for-manufacturing-illicit-liquor

චීන තාක්ෂණය යොදා ගනිමින් නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර සැෂේ පැකට් චීන සහ ජපන් ජාතිකයන්ට අලෙවි කළ නෙළුම් කුලුන ව්‍යාපෘතියේ හිටපු ඉංජිනේරුවරයෙකු වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



පොලිස් විමර්ශන වාර්තා අනුව, සැකකරු සතුව තිබූ ගෝඩා පුරවන ලද ප්ලාස්ටික් බහාලුම් පහක් මෙන්ම මිලි ලීටර 67,500 ක පමණ නීති විරෝධී මත්පැන් ප්‍රමාණයක් ද සමඟ මත්පැන් පෙරීමේ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී (III) දීප්ති කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත පදනම්ව සිදු කෙරුණු මෙම වැටලීම වැල්ලම්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති,

පොලිස් පරීක්ෂක අමිල වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ මාසික කුලිය රුපියල් 80,000 ක් ගෙවමින් පදිංචිව සිටි චීන ජාතිකයා මෙම නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව, සැකකරු විසින් චීනයෙන් ගෙන්වන ලද විශේෂිත ශාක කොටස් භාවිත කර මත්පැන්වල විෂ ගතිය අවම කිරීමට උත්සාහ කර ඇති අතර, විදුලි බලය යොදා ගනිමින් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇත.

වඩාත් සැලකිය යුතු කරුණක් වන්නේ මෙසේ නිෂ්පාදනය කරන ලද මත්පැන් ෂැගේ වෙළඳ නාමය යටතේ පැකට් කර චීන සහ ජපන් ජාතිකයන් බහුතරයක් සේවය කරන ඉදිකිරීම් වැඩබිම් වෙත යොමු කර ඇති බවයි. මෙම අලෙවිය සිදු කර ඇත්තේ විශ්වාසවන්ත හිතවතුන් මාර්ගයෙන් බව පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදු කරමින් පවතී.