jvp-group-breaks-out-frontline-farmers-conference-canceled

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ගොවි ජාතික සමුළුව මගින් සංවිධානය කොට හම්බන්තොට අඟුණකොළපැලැස්ස  උස්වැව ගැමි දිරිය පුජා ශාලාවේ ඊයේ (12) පැවැත්වීමට නියමිතව තිබූ ගො‍වි සම්මන්ත්‍රණයට කඩා වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් දිගින් දිගටම කලහකාරි ලෙස හැසිරීමෙන් එම ගොවී සම්මන්ත්‍රණය නවතා දැමීමට සංවිධායකයන්ට සිදු විය.




පෙරටුගාමී පක්ෂයට අනුබද්ධ ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය ඇමැතීමට නියමිතව තිබුණේ එහි සම කැඳවුම්කරු විමල් වත්තුහේවා ය.මෙම සම්මන්ත්‍රණය ඊයේ 12 වැනිදා පෙරවරු 10ට ආරම්භ කරන බව දන්වා තිබුණු අතර ඊයේ පෙරවරු 10.30 පමණ වනවිට ප්‍රජාශාලා භූමියේ රැඳී සිටියේ ගොවීන් කිහිප දෙනකු හා සංවිධායකවරුන් පමණි.


ඒ අතරතුරදී පැමිණි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් මෙහි සිදුවන්නේ කුමක්දැයි සංවිධායකයන්ගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ගොවීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වන බව ඔවුහු පැවසූහ.ඒ සමගම සංවිධායකයන් සහ පැමිණි පිරිස අතර වචන හුවමාරුවක් ද ඇති විය.

පැමිණි පිරිස පැවැසුවේ මේ ආණ්ඩුව බලයට පැමිණ තවමත් මාස තුනක් පමණ බවත් මේ වන විට ගොවීන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන බවය.


මෙවැනි සම්මන්ත්‍රණ ආණ්ඩුවේ ගමන ආපසු හැරවීමට දරන උත්සාහයක් බව ද පැවැසූ මෙම පිරිස එම නිසා මෙම සම්මන්ත්‍රණය වහාම නැවැත්විය යුතු බවට තර්ජනාත්මකව පැවැසූහ.දේශපාලනඥයන්ගෙන් සල්ලි අරන් ගම්වලට ගිහින් ගොවීන් දෙතුන් දෙනා එක්රැස් කර ජනතාව නොමග යවන බව ද කියමින් ඔවුහු සංවිධායකවර න්ට චෝදනා කළහ.


ඔවුන් අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සහික සුනිල් රත්නායක මහතා ඇතුළු එහි ක්‍රියාකාරින් ද සිටිනු දක්නට ලැබුණි.

මෙහිදී ගොවි ජාතික සමුළුවේ සම කැඳවුම්කරු විමල් වත්තුහේවා මහතා ප්‍රකාශයක් දෙමින් පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩකාරී බව හේතුවෙන් ගොවි සමුළුව කඩාකප්පල් වූ බවය.

 
මේ වන විට මෙරට කෘෂිකර්මාන්තය බහුජාතික සමාගම්වලට යට වී තිබෙන අතර සම්මන්ත්‍රණය පැවැත්වීමට හේතුව මෙරට කෘෂිකර්මාන්තයට එල්ල වී තිබෙන අභියෝග පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරිම බව ද ඔහු කීවේය.මේ ආණ්ඩුව වී මිල තීරණය කළේ මහ මෝල් හිමියන් සතුටු කිරීමට බවත් සහල් මිලෙන් රුපියල් 35ක් විතර අතරමැදියන් අතට යන නමුත් ආණ්ඩුව ඒ ගැන නිශ්ශබ්දව සිටින බව ද ඔහු කීවේය. දෙපිරිස අතර පැයක පමණ කාලයක් උණුසුම් තත්වය පැවැති අතර පසුව දෙපිරිස විසිර ගියහ.
( චන්දුසේන ගමගේ)