police-constable-who-molested-kottawa-expressway-cashier-suspended

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය විසින් නිවේදනය කර ඇති පරිදි, කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ප්‍රවේශ ගාස්තු අයකිරීමේ කුටියක සේවයේ නියුතු කාන්තා මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු වැඩතහනමට ලක්කර ඇත.





සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ කොට්ටාව අන්තර් හුවමාරු ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි නිලධාරියෙකි. වින්දිත කාන්තාව විසින් හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය වාර්තා වී ඇත.

පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව හෝමාගම පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සිද්ධිය සම්බන්ධ වාර්තාවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය විසින් නිවේදනය කර ඇති පරිදි,

අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද එම කාර්යාලය අවධාරණය කරයි.