al-jazeera-asked-ranil-about-batalanda-when-he-went-to-london

ලන්ඩන් නුවර පැවති අල් ජසීරා නාලිකාවේ 'හෙඩ් ටු හෙඩ්' වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසීරු තත්ත්වයකට මුහුණ දුන් බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවර සිටියදී, අල් ජසීරා නාලිකාවෙන් ලැබුණු ආරාධනාව පිළිගෙන තිබිණි. මෙය ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු සහභාගී වූ පළමු ජාත්‍යන්තර මාධ්‍ය සම්මුඛ සාකච්ඡාව වීම නිසාත් ජාත්‍යන්තර අවධානයට ලක්වන කතා කළ හැකි නිසාත් ඔහු ඊට කැමතිවී ඇත.


මෙහිදි හසන් විසින් මෙහෙයවනු ලැබූ මෙම සම්මුඛ සාකච්ඡාව පසුගිය පෙබරවාරි 05 වැනි දින ලන්ඩනයේ කොන්වේ රැස්වීම් ශාලාවේදී පටිගත කර තිබෙන බව වාර්තාවේ.
සාකච්ඡාවේදී පහත ප්‍රධාන කරුණු ඇතුළත් විය:

- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ප්‍රතිසංස්කරණ
- දූෂණ චෝදනා සහ මානව හිමිකම් ගැටලු
- 2019 පාස්කු ප්‍රහාර සම්බන්ධ ක්‍රියාමාර්ග
- බටලන්ද වධකාගාරය පිළිබඳ චෝදනා
- රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය
- මහ බැංකු බැඳුම්කර සිද්ධිය
- තානාපති පත්වීම් පිළිබඳ ගැටලු


සම්මුඛ සාකච්ඡාව අතරතුර, මෙහිදි හසන් විශේෂයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් තියුණු ප්‍රශ්න ඉදිරිපත් කළේය.
"ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද නැද්ද?" යන ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේ "ඒක කැලඹිලි සහිත කාලයක්.

මම පාලනය කෙරෙහි අවධානය යොමුකළා. අපට රාජ්‍යය ආරක්ෂා කිරීමට සිදුවුණා" යනුවෙනි.
 රනිල් වික්‍රමසිංහ මහතා යම් අවස්ථාවක ආවේගශීලීව "මට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේක යූටියුබ් වැඩසටහනක්ද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
මෙයට මෙහිදි හසන් පිළිතුරු දුන්නේ "නැහැ වික්‍රමසිංහ මහත්මයා, මේක ගෝලීය වේදිකාවක්. ඔබට වගවීමෙන් ඉවත් විය නොහැකියි" යනුවෙනි.
සාකච්ඡාවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම එංගලන්ත සංචාරය නවතා ඕමානයට පිටත්ව ගිය බව වාර්තා විය.
මෙම සම්මුඛ සාකච්ඡාව අල් ජසීරා නාලිකාව විසින් ප්‍රචාරය කරනු ලබන්නේද යන්න තවමත් තහවුරු වී නොමැත.