the-name-of-the-main-suspect-is-changed-from-mohamed-azman-to-samindu-dilshan

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි බව මහජන ආරක්ෂක අමාත්‍ය තුමන් විසින් පාර්ලිමේන්තුවේදී තහවුරු කරන ලදී.



අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පෙරේදා (20) පෙරවරුවේ සිදුවූ මෙම ඝාතනයේ ගොදුර බවට පත්වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගත් ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාය. සැකකරු මුලින් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් යන වයස අවුරුදු 34ක් වූ පුද්ගලයා ලෙස හඳුනාගෙන තිබූ අතර, පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

විමර්ශන වාර්තා අනුව, සැකකරු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කර ඇති අතර, එහි 'කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක' යන නම සඳහන්ව තිබී ඇත. පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, සැකකරු 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පලා ගොස් ඇති අතර, පසුව පොදු සමාව ලබාදුන් කාලවකවානුවේදී හමුදා සේවයෙන් නිල වශයෙන් ඉවත්ව ගොස් ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු යටතේ සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකරමින් පවතින අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් මහජන ආරක්ෂක ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, අධිකරණ පරිශ්‍රය තුළ සිදුවූ මෙවැනි බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට රජය කටයුතු කරන බව ද එහිදී අවධාරණය කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර ගැනීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.