
කොල්ලුපිටිය, ආර්.ඒ. ද මෙල් මාවතේ මුහන්දිරම් පාරේ පිහිටි 'මිරකල් කලම්බු සිටි' නම් වූ තරු දෙකේ නේවාසිකාගාරයේදී විදේශික කාන්තාවන් දෙදෙනෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු වලට අනුව එම කාන්තාවන් දෙදෙනා ඊට යාබද කාමරයෙන් හමා ආ මකුණන්ට ගැසූ කෘමිනාශක ධූමායනයට නිරාවරණයවීමක් නිසා අසනීප වූ බවට සැක මතුව තිබේ.
කොල්ලුපිටියේ පිහිටි නේවාසිකාගාරයක සිදුවූ මෙම මරණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එම ගොඩනැගිල්ල වසා දැමීමට දැනටමත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම මරණ සම්බන්ධයෙන් පැති කිහිපයකින් විමර්ශන සිදුකරන බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. විශේෂයෙන්, කෘමීන් විනාශ කිරීම සඳහා යොදන ලද වායුවක් ආඝ්‍රාණය වීමෙන්, ආහාර විෂවීමකින්, හෝ අපරාධමය ක්‍රියාවක් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇත්දැයි විමර්ශනය කෙරෙමින් පවතී.
පොලිස් පරීක්ෂණවලට අනුව, ජනවාරි 30 වන දින මෙම විදේශිකයන් රැඳී සිටි කාමරයට යාබද කාමරයක පළිබෝධනාශක වායුවක් යොදා ධූමායනය කර ඇති බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබී ඇත. මෙම වායුව ආඝ්‍රාණය වීම හේතුවෙන් ඔවුන් රෝගාතුර වූ බවට සැක පළ කෙරේ.
කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය විසින් නේවාසිකාගාරයේ යෝග්‍යතාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කර ඇත. එමෙන්ම, අවශ්‍ය සියලු සෞඛ්‍ය නිර්දේශ සම්පූර්ණ කර නිසි බලපත්‍රයක් ලබාගන්නා තෙක් නේවාසිකාගාරය වසා තැබීමට ද නියෝග කර තිබේ.
මියගිය තරුණියන් දෙදෙනා අතර බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි තරුණියක් සහ ජර්මන් ජාතික 26 හැවිරිදි තරුණියක් වන අතර, තවත් ජර්මන් ජාතික පුරුෂයෙක් බරපතල රෝගී තත්ත්වයෙන් පසුව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
පොලිස් විමර්ශන වාර්තා අනුව, පෙබරවාරි 2 වන දින පළමු මරණය වාර්තා වූ අතර, බ්‍රිතාන්‍ය ජාතික තරුණිය හදිසි රෝගී තත්ත්වයකට ලක්ව වමනය දැමීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත. ඇයගේ තත්ත්වය බරපතල ලෙස පිරිහීමෙන් පසු රෝහල්ගත කර ඇති අතර, එහිදී මියගොස් තිබේ. ඉන්පසු, පෙබරවාරි 3 වන දින රාත්‍රියේදී ජර්මන් ජාතික කාන්තාව ද මියගොස් ඇත.
විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන ඇති අතර, සිද්ධිය සිදුවූ කාමරයෙන් අවශ්‍ය සාම්පල් ලබාගෙන ඇත. මියගිය තරුණියන්ගේ ඥාතීන් පැමිණ මෘත දේහ හඳුනාගැනීමෙන් අනතුරුව මෘත පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මනතුංග මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
නේවාසිකාගාරය නැවත විවෘත කිරීමට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කර, එහි ආරක්ෂාව සහ යෝග්‍යතාව තහවුරු කළ යුතු බව අධිකරණ නියෝගයේ සඳහන් වේ. මෙම තත්ත්වය යටතේ නේවාසිකාගාරය නැවත විවෘත කිරීමට සුදුසුද යන්න පිළිබඳව අවසන් තීරණය ගනු ලබන තෙක් වසා දැමීමේ නියෝගය බලාත්මකව පවතිනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශන දිගටම සිදු කෙරෙන අතර, මරණවලට හේතුව නිශ්චිතව හඳුනාගැනීම සඳහා විශේෂඥ වාර්තා අපේක්ෂා කෙරේ. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නේවාසිකාගාර සඳහා වන නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙම සිද්ධිය තුළින් පැහැදිලි වී තිබේ.
0 Comments