allegations-of-assault-on-a-child-against-the-principal-of-a-kalpitiya-school

පසුගිය 30 වැනි දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එහිදී දෙවන වසරේ ඉගෙනුම ලබන හය හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් පහර දුන් බවට චෝදනා කර ඇත.
 




පාසලට ප්‍රමාදව පැමිණීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇති අතර, මණ්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචි මොහොමදු සාහීර් නම් සිසුවාට පොල්ලකින් අතට පහර දී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. දරුවාගේ පියා වන අමානුල්ලා මොහොමද් සාකීර් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

පහර කෑමෙන් අතේ ඇති වූ වේදනාව හේතුවෙන් දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වර්තමානයේ එහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් වාර්තා මගින් තහවුරු කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාසලේ විදුහල්පති මොහොමඩ් අමීර් මහතා සිය පාර්ශ්වය පැහැදිලි කළේය. ඔහු පවසන පරිදි මෙම පාසල පසුගිය වසර දෙකක කාලය තුළ ස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිව පවත්වාගෙන ගොස් ඇත. වැඩබලන විදුහල්පතිවරුන් යටතේ පාසල ක්‍රියාත්මක වී ඇති අතර, ඔහු අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පත්කර යවා ඇත්තේ මාස පහකට පෙරදීය.



තවදුරටත් අදහස් දක්වමින් විදුහල්පතිවරයා පැවසූයේ ඔහු පාසලේ වගකීම භාරගන්නා විට එහි පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය තත්ත්වයක පැවති බවයි. පාසලේ දිනකට පැවැත්විය යුතු කාලච්ඡේද නවයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ උදෑසන හා අවසන් කාලච්ඡේද පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. සිසුන් 2,200ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ තුන්සිය හාරසියයක් පමණ සිසුන් පාසලට ප්‍රමාද වී පැමිණ තාප්පයෙන් පනිමින් ඇතුළු වන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, වර්තමානයේ මෙම තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වෙමින් පවතින බවත්, පාසලේ පරිපාලන කටයුතු ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පවතින බවත් විදුහල්පතිවරයා අවධාරණය කළේය. සියලු දෙනාටම නියමිත වේලාවට සිය කාර්යයන් ඉටු කිරීමට සිදුව ඇති බවද ඔහු පැවසීය.

කෙසේ නමුත්, පාසලේ මෙම දියුණුව දැකීමට අකමැති පිරිසක් පාසල තුළ හා ඉන් පිටත සිටින බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ලෙස මෙම සිද්ධිය ඇති කර ඇති බවත් විදුහල්පතිවරයා චෝදනා කළේය. එම පිරිස්වල අරමුණ වී ඇත්තේ තමා මානසිකව වැටීමට පත් කර පාසල නැවත පැරණි තත්ත්වයට පත් කිරීම බවද ඔහු පැවසීය.



මේ අතර, කල්පිටිය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටි.