
ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවන ඉල්ලුම සපුරාලමින් "ඇල්ල ඔඩිසි නානුඔය" නමැති නව සුඛෝපභෝගී දුම්රිය සේවාව අද (පෙබරවාරි 10) සිට නානුඔය-බදුල්ල මාර්ගයේ ධාවනය ආරම්භ කෙරේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ පරිදි, මෙම නව දුම්රිය සේවාව S14 මැදිරි කට්ටලයකින් සමන්විත වන අතර, අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වේ. දුම්රිය පෙරවරු 8.10ට නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත්ව බදුල්ල කරා ගමන් කරන අතර, ආපසු ගමන පස්වරු 1.00ට බදුල්ල සිට නානුඔය දෙසට ආරම්භ කෙරේ.
මගීන්ට තම අභිරුචිය හා අයවැය අනුව තෝරා ගැනීම සඳහා පන්ති තුනක ප්‍රවේශපත්‍ර පහසුකම් සලසා ඇත. පළමු පන්තියේ වෙන්කළ ආසන (AFC) සඳහා රුපියල් 7,000ක්, දෙවන පන්තියේ වෙන්කළ ආසන (SCR) සඳහා රුපියල් 6,000ක් සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන (TCR) සඳහා රුපියල් 5,000ක් ලෙස මිල නියම කර ඇත.
සංචාරකයින්ට උපරිම දර්ශන අත්දැකීමක් ලබා දීමේ අරමුණින්,
ප්‍රසිද්ධ එල්ජින් දිය ඇල්ල සහ සමිට් ලෙවල් යන ස්ථානවල දී දුම්රිය මන්දගාමීව ගමන් කරනු ඇත. මීට අමතරව, ඓතිහාසික ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ දී සහ ප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම වෙත පිළිවෙලින් මිනිත්තු 6ක් සහ මිනිත්තු 10ක් දුම්රිය නතර කරනු ලැබේ.
මෙම නව දුම්රිය සේවාව හඳුන්වාදීම තුළින් උඩරට දුම්රිය මාර්ගයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කිරීමත්, ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ දියුණුවට දායක වීමත් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම නානුඔය සිට බදුල්ල දක්වා වූ ප්‍රදේශයේ අති සුන්දර දර්ශනීය ස්ථාන නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙම දුම්රිය සේවාව සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval