hasina-who-ran-stirs-up-the-people-again-arson-attacks-continue-throughout-the-night-in-bangladesh

මීට මාස කිහිපයකට පෙර සිදුවූ මාරාන්තික අරගලයකින් පසු බංග්ලාදේශයේ අගමැතිනී ශෙක් හසීනා එළවා දමා රට අන්තර්වාර පාලනයකට පත්කරවන්නට එරට බහුතර ජනතාව පෙළගැසුණ නමුත් හසීනා හා ඇගේ ඉතිරිවූ පක්ෂපාතීන් නව පාලනය වට්ටන්නට නොයෙකුත් කටයුතු සිදුකරමින් පවතී.
ඉන්දියාවේ සැඟවී සිටින හසීනා එහි සිට අන්තර්ජාලයෙන් ජාතිය අමතමින් විවිධ අවුල්සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිටී.මේ නිසා කුපිත වූ ජන කණ්ඩායම් බදාදා (පෙබ. 05) රාත්‍රී කාලයේ හසීනාගේ පියාගේ සැමරුම් දේපළ වනසමින් මහත් විනාශයක් සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
රාත්‍රී කාලයේ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ශේක් හසීනා විසින් සජීවී මාධ්‍ය ඇමතුමක් සිදුකරමින් සිටි අවස්ථාවේදී බංග්ලාදේශ ප්‍රධාන ස්මාරක කෞතුකාගාරයට ප්‍රහාර දියත් කරන්නටත් ඉතිහාසික ගොඩනැගිල්ල විනාශ කිරීමටත් උත්සාහ දරා තිබුණ අතර ශේක් හසීනාගේ පියා වන හිටපු අගමැති ශේක් මුජිබුර් රහ්මාන් ස්මාරක කෞතුකාගාරයට බරපතල හානි ද මුජිබුර් රහ්මාන්ගේ හිටපු නිවසට ගිනි හානිද සිදුවිය.


හසීනාගේ අනවශ්‍ය මැදිහත්වීම ජනතාවට රුස්සන්නේ නැති දෙයක් බවට දැන් පත්ව තිබෙන අතර ධානමොන්ඩි ප්‍රදේශයේ 5 දා පෙරවරුවේ සිට ආරම්භ වූ විශාල විරෝධතා ව්‍යාපාරය "බුල්ඩෝසර් පෙළපාලිය" ලෙස එරට මාධ්‍ය හැඳින්වූ අතර මෙම විරෝධතාවයට දහස් ගණනක් සහභාගී වූ බව කියැවිණි.

ඔවුන් කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව බිඳ දමා ගොඩනැගිල්ලට ඇතුළු විය.
විරෝධතාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල ඒකාධිපති පාලනයේ සංකේතයක් බව සහ "මුජිබ්වාදය" රටින් තුරන් කිරීමට අවශ්‍ය බවයි. ඔවුහු ශේක් හසීනාට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

විරෝධතාවය ආරම්භ වූයේ ශේක් හසීනා විසින් සිදු කළ මාධ්‍ය ඇමතුමකට ප්‍රතිචාරයක් ලෙසය. එහිදී ඇය වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහිව ජනතාව නැගී සිටින ලෙස ඉල්ලා සිටියාය. නොබෙල් ත්‍යාග ලාභී මුහම්මද් යූනුස්ගේ රජය පිළිබඳව සඳහන් කරමින්, ගොඩනැගිලි විනාශ කළ හැකි නමුත් ඉතිහාසය මකා දැමිය නොහැකි බව ඇය පැවසුවාය.
Anti-Discrimination Students Movement හි හස්නත් අබ්දුල්ලා සහ Inqilab Mancha හි ෂරිෆ් ඕස්මාන් බින් හාදි ඇතුළු නායකයින් විරෝධතාව සංවිධානය කර තිබිණි. විප්ලවීය සිසුන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙම විරෝධතාවයට සහභාගී වූහ.



විරෝධතාකරුවන් මිටි, යකඩ කූරු සහ ලී පලක භාවිතා කරමින් ශේක් මුජිබුර් රහ්මාන්ගේ ඡායාරූප සහ ගොඩනැගිල්ලේ වෙනත් කොටස් විනාශ කළහ. ඔවුන් "ෆැසිස්ට්වාදයේ වන්දනා ස්ථානයක්" ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල බිම හෙළීමට යන්ත්‍ර සූත්‍ර ගෙන ආහ.

මෙය ධානමොන්ඩි-32 නිවසට එල්ල වූ පළමු ප්‍රහාරය නොවේ. අවාමි ලීග් පාලනය පරාජයට පත්වීමෙන් පසු අගෝස්තු 5 වැනිදා ද මෙවැනි ප්‍රහාරයක් සිදුව තිබිණි.
සිසු ව්‍යාපාරය බංග්ලාදේශයේ 1972 ව්‍යවස්ථාව අහෝසි කිරීමට පොරොන්දු වී ඇති අතර, සමහර අන්තවාදී කණ්ඩායම් ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා කර තිබේ. හසීනා විරෝධතාකරුවන්ට ජාතික කොඩිය, ව්‍යවස්ථාව සහ නිදහස විනාශ කිරීමට තරම් ශක්තියක් නොමැති බව චෝදනා කළාය.

හසීනා සහ ඇගේ සහෝදරිය රිහානා දැනට ඉන්දියාවේ සරණාගතව සිටිති. රටේ අභ්‍යන්තර කටයුතු උපදේශක ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ඩී. ජහන්ගීර් ආලම් චෞධුරි පවසා ඇත්තේ අන්තර්වාර රජය හසීනා සහ අනෙකුත් පුද්ගලයින් ඉන්දියාවෙන් ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවයි.

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් හසීනා සහ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, උපදේශකයින්, හමුදා සහ සිවිල් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජන සංහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වොරන්ත් නිකුත් කර ඇත.
මෙම විරෝධතා ඩාකා නගරයට පමණක් සීමා නොවී රට පුරා පැතිර ගියේය. යසෝර්, සත්කීරා සහ රන්පූර් වැනි නගරවල ද ශේක් මුජිබුර් රහ්මාන්ගේ ප්‍රතිමා සහ ස්මාරක වලට හානි සිදුකර ඇත. එමෙන්ම, හිටපු අවාමි ලීග් පාලකයින්ගේ නිවාස වලට ද ප්‍රහාර එල්ල වී තිබේ.