unp-samagi-jana-balawega-to-merge-soon-unps-new-leader-sajith

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකතුවක් සඳහා නිල සාකච්ඡා ආරම්භ කිරීමට පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
පසුගිය සෙනසුරාදා සජබයේත් අද (20) එජාපයේත් අනුමැතිය මීට හිමි විය.


මෙම සාකච්ඡා පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයෙන්ම විශේෂ කමිටු පත්කර ඇති අතර, ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීම ප්‍රධාන අරමුණ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වී මෙම තීරණයට එළඹී තිබේ. එහිදී එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් සාකච්ඡා සඳහා නියෝජිතයින් ලෙස පත්කර ඇත.

සමගි ජන බලවේගය වෙනුවෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර, මූලික වටයේ සාකච්ඡා මේ අනුව ආරම්භවී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම සාකච්ඡා සඳහා අනුමැතිය ලබාදී තිබේ.

සාකච්ඡාවලට සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම් සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී ඇත.

කෙසේ වෙතත්, මෙම එකතුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අකමැත්තෙන් පසුවන බව වාර්තා වන අතර, ඔහු පක්ෂ නායකත්වය තමන් වෙත හිමිවිය යුතු යැයි මාධ්‍ය ප්‍රචාරණයක නිරත වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ නායකත්වය පිළිබඳ ගැටළු පසෙක තබා මෙම මොහොතේ පක්ෂ දෙක එක්වීම වැදගත් බවයි. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ කඩුවෙල ආසනයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවකදීය.

එජාප නව මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ මෙම කණ්ඩායම් දෙක එක්කිරීමට තමන් උපරිම උත්සාහයක නිරත වන බවයි. මෙම එකතුව නොවුණහොත් පක්ෂ දෙකේම දේශපාලන අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අවධාරණය කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ අනෙකුත් පක්ෂ එකතු කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා තම අඩුපාඩු නිවැරදි කර නොගන්නේ නම් බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂය හා නැවත එක්වනු ඇති බවයි.