a-doctor-at-the-kandy-national-hospital-was-attacked-by-two-drunk-men

 මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකුට බීමතින් පැමිණි සහෝදරයන් දෙදෙනෙකු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. රෝහල් පරිශ්‍රය තුළ සිදුවූ මෙම සිද්ධියෙන් වෛද්‍යවරයා තුවාල ලබා ඇති අතර, සැකකරුවන් දෙදෙනා රෝහල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර පොලිස් මූලස්ථානයට භාර දී තිබේ.



පෙරේදා (26) සවස 7.30ට පමණ සිදුවූ මෙම සිද්ධිය ආරම්භ වී ඇත්තේ රෝහල් පරිශ්‍රයේ විශේෂ මාර්ගයක් භාවිතය සම්බන්ධ ආරවුලකිනි. පේරාදෙණිය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන කෙටි මාර්ගය ඔස්සේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු රෝහල් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දරා තිබේ.

රෝහල් පරිපාලනය විසින් ගත් තීරණයකට අනුව, රෝහලේ පවතින අධික තදබදය හේතුවෙන් මෙම මාර්ගය පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කිරීම තහනම් කර තිබුණි. ඒ අනුව ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ත්‍රීරෝද රථයට රෝහල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා දී නොතිබුණි.

මෙම අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි වෛද්‍යවරයාගේ ගමනට ද බාධා ඇති වී තිබේ.

ආරක්ෂක නිලධාරියා සහ ත්‍රීරෝද රථ රියදුරු අතර ඇති වූ වාග් සංග්‍රාමය හේතුවෙන් වෛද්‍යවරයාගේ ගමනට බාධා එල්ල වී ඇත. ත්‍රීරෝද රථ රියදුරු තමන් රෝහල් සේවකයෙකු බව පවසද්දී, වෛද්‍යවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ රෝහල් සේවකයෙකු නම් හැඳුනුම්පත පෙන්වා රෝහල් භූමියට ඇතුළු වන ලෙසයි.

මෙම අවස්ථාවේදී කෝපයට පත් ත්‍රීරෝද රථ රියදුරු වෛද්‍යවරයාට පහර දී තිබේ. රෝහල් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන විට, ඔහුගේ සහෝදරයෙක් ද එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත. මෙම තත්ත්වය හමුවේ පොලිසිය විසින් සහෝදරයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.



හන්තාන ගැමුණු මාවතේ පදිංචි සැකකරුවන් දෙදෙනාම සිද්ධිය සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පහර කෑමට ලක් වූ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.