prices-of-new-vehicles-and-old-vehicles-have-increased-due-to-taxes-and-valuation-report-mafia

දේශීය වෙළඳපොළේ පාවිච්චි කළ වාහන මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැරදි තක්සේරු වාර්තා නිකුත් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වීම බව රථවාහන සහ යන්ත්‍රෝපකරණ තක්සේරුකරුවන්ගේ ආයතනය අනාවරණය කරයි. එසේම නව වාහන ආනයනයේදී රජයේ බදු නිසා දරාගත නොහැකි මිලකට වාහන අලෙවිකරන්නට සිදුවන බවද ආනයනකරුවන් පෙන්වා දෙයි.
මෙම තත්වය තුළ වාහනයක් අයිතිකරගැනීමට පිළිබඳ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු බොඳවී ගොස්ඇති සෙයක් වෙළෙඳ පොළ නිරීතක්ෂණයේදී පෙනී යයි.

ශ්‍රී ලංකාවේ වාහන තක්සේරුකරුවන්ට ප්‍රමිතිගත අධ්‍යාපනයක් හෝ නියාමන ක්‍රමවේදයක් නොමැති වීම පාවිච්චි කළ වාහන මිල ඉහළයාමේ ගැටලුවට මූලික හේතුව වී තිබේ. වාහන ප්‍රත්‍යක්ෂ පරීක්ෂණයකින් තොරව තක්සේරු වාර්තා නිකුත් කිරීම නීති විරෝධී වුවද,

බොහෝ ලීසිං සමාගම් හුදෙක් ඡායාරූප පමණක් පදනම් කරගෙන වැරදි තක්සේරු වාර්තා නිකුත් කරන බව එම ආයතනය පෙන්වා දෙයි.

මෙම වංචනික ක්‍රියාවලිය හේතුවෙන් වාහනවල සැබෑ වටිනාකමට වඩා අධික මිලකට තක්සේරු වාර්තා නිකුත් වන අතර, එය සමස්ත වෙළඳපොළ මිල ගණන් කෘත්‍රිමව ඉහළ යාමට හේතු වී තිබේ. වඩාත් සැලකිය යුතු කරුණ වන්නේ නීති විරෝධී ලෙස එක්ලස් කරන ලද වාහන සඳහා පවා බැංකු හා මූල්‍ය සමාගම් විසින් තක්සේරු වාර්තා නිකුත් කිරීමයි.

රජය විසින් තක්සේරුකරණය පිළිබඳ විධිමත් නීති රාමුවක් සකස් කර නොමැති අතර, තක්සේරුකරුවන්ගේ වෘත්තීය සුදුසුකම් සහ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු කිරීමට විධිමත් විෂය මාලාවක්ද ක්‍රියාත්මක නොවේ. මෙරට වාහන හා යන්ත්‍රෝපකරණ තක්සේරුකරුවන්ට ආචාර ධර්ම පද්ධතියක් නොමැති අතර, ඔවුන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියද අවිධිමත්ය.

ඇතැම් තක්සේරුකරුවන් නුපුහුණු පුද්ගලයින් යොදවා දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල වාහන සඳහා වැරදි තක්සේරු වාර්තා සකස් කර මූල්‍ය හා ලීසිං ආයතනවලට ඉදිරිපත් කරන බව හෙළි වී තිබේ. තවද,

භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින වාහන සඳහා පවා වංචනික ලෙස තක්සේරු වාර්තා නිකුත් කරන අවස්ථා වාර්තා වී ඇත.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ ඇතැම් ලීසිං සමාගම් තක්සේරු වාර්තා නොමැතිවම ණය ලබා දීම සහ තමන්ගේම නුපුහුණු සේවකයින් ලවා තක්සේරු වාර්තා සකස් කරවා ගැනීමයි.


2025 පෙබරවාරි 1 වන දින සිට වාහන ආනයනයට නැවත අවසර ලැබුණද, ජනතාව අපේක්ෂා කරන ආකාරයේ සහනදායී මිලකට වාහන මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව වාහන ආනයනකරුවෝ අවධාරණය කරති. විවිධ බදු එකතු වීමෙන් වාහන මිල සාමාන්‍ය පුරවැසියන්ට දැරිය නොහැකි මට්ටමකට ඉහළ යනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

දැනට බදු අය කරන ආකාරය හා ප්‍රතිශත පිළිබඳව රජය නිල නිවේදනයක් නිකුත් කර නොමැත. නිෂ්පාදන බද්ද, වැට් බද්ද, සුඛෝපභෝගී බද්ද සහ සමාජ ආරක්ෂණ දායක මුදල් ඇතුළු සියලු බදු මේ සඳහා අදාළ වේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 19 දින සිට වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු වසර තුනක පමණ කාලයක් වාහන නොමැතිවීම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.



සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, විට්ස්, සී.එච්.ආර්, ඇක්සියෝ, වෙසල් වැනි ජනප්‍රිය මෝටර් රථවල මිල ගණන් පිළිබඳව ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව වාහන ආනයනකරුවෝ පවසති. ඔවුන් බදු ප්‍රතිශත සහ ආනයන ක්‍රමවේදය පිළිබඳව රජයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරති.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැඩි නියාමන රාමුවක් හඳුන්වා දිය යුතු අතර, තක්සේරුකරුවන්ගේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමට කඩිනම් පියවර ගත යුතු බව රථවාහන සහ යන්ත්‍රෝපකරණ තක්සේරුකරුවන්ගේ ආයතනය අවධාරණය කරයි.