'රාවය' පුවත්පතේ නිර්මාතෘ සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) කරාපිටිය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 76 වැනි විය පසු කරමින් සිටියේය.
මාස කිහිපයක සිට දැඩි අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිටි අයිවන් මහතා, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් හුස්ම හෙළා ඇත. ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (20) ගාල්ල රුහුණු මල් ශාලාවේදී පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් නමින් උපත ලද ඒ මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් 'පොඩි අතුල' නමින් ක්‍රියාකාරීව කටයුතු කළේය. 1971 කැරැල්ලේ හත්වන විත්තිකරු ලෙස නඩු විභාගයට ලක්වූ ඔහු, පසුකාලීනව පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී පූර්ණකාලීන මාධ්‍යවේදියෙකු ලෙස තම ජීවිතය හැඩගස්වා ගත්තේය.
1986 වසරේදී 'රාවය' මාසික සඟරාව ආරම්භ කළ අයිවන් මහතා, එය ශ්‍රී ලංකාවේ වඩාත් විවාදාත්මක හා ජනප්‍රිය ප්‍රකාශනයක් බවට පත් කිරීමට සමත් විය. කාලයත් සමඟ සතිඅන්ත පුවත්පතක් බවට පරිවර්තනය වූ 'රාවය', වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු විය.
ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලනික, සමාජීය හා සංස්කෘතික විචාරයන්හි නියැලෙමින් ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කළ අයිවන් මහතා, ඒ අතරින් සමහරක් නම්:
- අඳ ගොවිතැනේ අභියෝගය (1979)
- 71 කැරැල්ල (1979)
- අර්බුදයේ ගමන් මග (1988)
- දෙමළ අභියෝගය (1989, 2012)
- ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම (1993)
- ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය (1999)
- නොනිමි අරගලය (2003)
- ප්‍රභාකරන් පරාජය කිරීම (2010)
- දේශපාලනයේ පවුල හා කුලය (2011)
- ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය (2013)
මේ අතර, චෙස් ක්‍රීඩාව පිළිබඳව ද ඔහු විශේෂ උනන්දුවක් දැක්වූ අතර, "චෙස් මූලධර්ම හා තාක්ෂණය" (1994) නමින් ඒ පිළිබඳ කෘතියක් ද රචනා කළේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිතයක් ලෙස සැලකෙන වික්ටර් අයිවන් මහතා, තම ජීවිත කාලය තුළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු, මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු හා සමාජ විචාරකයෙකු ලෙස බහුවිධ කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ අභාවය සමස්ත ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයටම දැඩි පාඩුවකි.

Comments
Post a Comment
Your comment will be visible after approval