urugasmanhandiya-incident

සතුන් දඩයම් කිරීමට යොදා ගත් අනවසර විදුලි රැහැනකින් මරණයට පත් පුද්ගලයෙකුගේ මළසිරුර වැසිකිළි වළකින් සොයා ගැනීමට හැකිවූ පුවතක් ඌරුගස්මංහන්දියෙන් වාර්තාවේ.


අනවසර විදුලි රැහැනක දැවටී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුර වැසිකිළි වළකින් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා වඉඟුරුකැටිය, ඌරගස්මංහන්දිය පදිංචි විලට් ගාමිණී අශෝක ගුණවර්ධන (57) නම් තිදරු පියෙකි.

පසුගිය 11 වන දින මිතුරෙකු බැලීමට ගොස් කුරුඳු වත්තක් හරහා නිවසට පැමිණෙමින් සිටියදී අනවසර විදුලි රැහැනක දැවටී මරණයට පත්ව ඇති බව ඥාතීන් පවසති. මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් දින කිහිපයක් පුරා ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් පැවැත්වුවද කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය.



පසුව පොලීසියට රහසිගත තොරතුරක් ලැබීමෙන් අනතුරුව, දීර්ඝ කාලයක් භාවිතා නොකළ නිවසක වැසිකිළි වළක මළසිරුර සොයා ගැනීමට හැකි විය. පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වැසිකිළි වළේ කොන්ක්‍රීට් තට්ටුව ඉවත් කර, දැඩි දුර්ගන්ධයක් සහිත මෘත දේහය ගොඩගන්නා ලදී.

ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් මුණිදාස හාල්පන්දෙණිය මහතා ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළේය.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වූ කරුණු අනුව, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වඉඟුරුකැටිය, ඌරගස්මංහන්දිය පදිංචි වයස 35 සහ 45 අතර පුද්ගලයන් දෙදෙනෙකු කොස්ගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් මත්පැන් භුක්ති විඳිමින් සිටි බව පොලීසිය පවසයි. සැකකරුවන් අධිකරණය හමුවට පමුණුවීමට නියමිතය.