
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පත් කරන ලද සාමාජිකයන් එම තනතුරු භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම කොමිෂන් සභාව මේ වන විට අක්‍රීය තත්වයකට පත්වී තිබේ.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අක්‍රීය තත්වයේ තිබීම නිසා විදුලි ගාස්තු සංශෝධනය සලකා බැලීම සහ එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමද දින නියමයක් නැතුව කල් යනු ඇතැයිද එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසියම් තීන්දුවක් ගැනීම සඳහා පස්දෙනකුගෙන් යුත් කොමිෂන් සභාවේ තිදෙනකුගේවත් අනුමැතිය හිමි විය යුතුය.
පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට සභාපතිවරයකු ඇතුළු සාමාජිකයන් පස් දෙනකු ඉකුත්දා නම් කළ අතර ඉන් වැඩ භාරගෙන ඇත්තේ සභාපතිවරයා පමණක් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය පල්ලියගුරුගේ ලලිත් චන්ද්‍රලාල් මහතා පත්කර ඇති අතර ඒ මහතා පමණක් මේ වන විට එම ධුරයේ වැඩ භාරගෙන ඇත.
එම කොමිෂන් සභාවට පත් කළ සාමාජිකයන් දෙදෙනකු වන මහාචාර්ය අසංක සංජීව රොද්‍රිගු සහ හිටපු අභියාචනා අධිකරණ විනිසුරු විකුම් අතුල කළුආරච්චි යන මහත්වරුන් එම ධුර භාර ගැනීම මේ වන විට නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
එම කොමිෂන් සභාවට පත්කර සිටින අනෙක් සාමාජිකයන් දෙදෙනා වන පියල් හෙන්නායක මහතා සහ ආචාර්ය චතුරි සමන්මලී ප්‍රනාන්දු මහත්මිය කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේද නැද්ද යන වග තවමත් ප්‍රකාශයට පත්කර නැතැයිද වාර්තාවේ.පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ඉකුත් නොවැම්බර් 27 වැනිදා රැස්වී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නව සාමාජිකයන් නම් කරනු ලැබූහ.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval