dulas-ranil-election

නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි 72ක මුදලක් අපතේ යැවීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව නිදහස් ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.


නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇති ඒ මහතාගේ නිවේදනයේ මෙසේද දැක්වේ.මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නවයෝජනා කැඳවීමටද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමටද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවලද පුරවැසියන්ගේද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය.




රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි.


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8කි (8,000,000,000) ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10%ක් බව පැහැදිලිය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින් උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම් වලින් වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ ඊරිමාංශ සුරා උපයා ගත් බඳු මුදල් බවද තාර්කිකය, පැහැදිලිය.


එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින් මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරුවන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට තරම් රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීම විගඩමක් ලෙසින් වුවද සාහසික ව්‍යාකරණයන් සමගින් ඉතිහාසයේ සටහන්ව අවසානය.



ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කැමැත්ත සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේදී වීම දේශපාලනිකව වඩාත් සාහසිකය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කල කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මූල්‍යමය වශයෙන් ගත් කල මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.


රාජ්‍ය භාණ්ඩාගාරය සතු බදු මුදල් වූ උක්ත කෝටි 72 ට අමතරව, නාමයෝජනා භාර දුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් අසූදහස් හයසිය හැත්තෑ දෙදෙනකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල මෙපමණකැයි කිසිවකුට තක්සේරු කළ නොහැක. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක් (රු. කෝටි 18 ක්) වන අතර එයම, මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැනගත හැකි පරේෂණීය සාක්ෂියකි.


එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළ යුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. රාජ්‍ය බදු මුදල් ගෙවාගත නොහැකිව, ණය පොලී ගෙවාගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව,

විදුලි බිල ගෙවාගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසාගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක් නොවන්නේද?


එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාළ තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරවම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බවද දැනුම් දිය යුතුව තිබේ.


ඒ සියල්ලටම පෙර, තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ට සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.