ministers-home-work

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබ්නට් මණ්ඩලයේ සිටි එක් ඇමැතිවරයෙක් හැර, අන් සියලු දෙනා දැන් ඉන්නේ ගෙදරය. ගෙදර සිටින දෙතුන් දෙනෙක් මෙවර මහ මැතිවරණයට තරග කළේ නැත. තරග කළ අය අතරින් එක් අයෙක් හැර අන් සියලු දෙනා පරාජයට පත් වූවෝය. තරග කළ අය අතරින් පාර්ලිමේන්තුවට යාමට හැකි වූයේ ජීවන් තොණ්ඩමන්ට පමණි. ගෙදර ගිය ඇතැම් ඇමැතිවරු දේශපාලනයට ආවේ සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීය.

ඒ හේතුවෙන් ඔවුන්ට ජීවත් වීමට කාසි ලැබුණේ ඇමැති වැටුපෙනි. වාහන, නිල නිවාස ලැබුණේද ඇමැතිකමට පින් සිදුවන්නටය. කොළඹ නිල නිවාස ලැබූ නිසා ඇමැතිවරු තම දරුවන් ඇතුළු කළේ රාජකීය, විශාඛා වැනි ලොකු ඉස්කෝලවලටය. රජයේ ඉස්කෝල නැති නම් කොළඹ ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළු කළේ කොළඹ සිටීමට නිල නිවාස ලැබුණු නිසාය. උදාහරණයක් ලෙස මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිගේ මිනිපිරිය පවා ගියේ ලංකාවේ කාන්තා පාසල් අතර අංක එකේ සිටින විශාඛා විදුහලටය. ගාල්ලේ මනූෂ නානායක්කාරගේ දරුවන් ගියේ බොරැල්ලේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලටය. මැති ඇමැති පදවි අහිමි මේ පිරිස අතරින් සමහරුන්ට දැන් කොළඹ නවාතැන් නැත.

වසර ගණනාවක් තිස්සේ ජනතා මනාපය ඉහළින්ම හිමි වී නොකඩවා පාර්ලිමේන්තු ආ පිරිසෙන් ඇතැමුන් දේශපාලනයට අත්පොත් තැබුවේ පියාගෙන් ලද දේශපාලන උරුමය කරපින්නාගෙනය. මොනතරම් කැපකිරීම් කළද, ජනතාව වෙනුවෙන් ඇපකැප වන බවට ඉරහඳ තරු මත දිවුරා පොරොන්දු දුන්නද,දැන් ඔවුන්ට පාර්ලිමේන්තුව අහිමිය.

මෙලෙස පාර්ලිමේන්තුවට යාමට වරම් නොලද පිරිසෙන් කිහිප දෙනෙක් නැවැත දේශපාලන කටයුතුවල නොයෙදෙන බවටද ආරංචියක් පැතිර ගියේය. ඒ අතර තවත් පිරිසක් අලුත් මුහුණුවරකින් අලුත් දේශපාලන ගමනක් ඇරඹීමට සූදානමක් ඇති බවද කියැවෙයි. සියල්ල පසෙකලා දේශපාලනයට ප්‍රවේශ වීමට පෙර කළ රස්සාවම කරගෙන පාඩුවේ ජීවත් වීමටද පිරිසක් හිත හදාගෙන ඇති සේය. මේ සියල්ල සැකහැර දැනගන්නට අපි හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග කතා කළෙමු.

අප මුලින්ම කතා කළේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නියෝජ්‍ය කථානායක ධුරය දැරූ හම්බන්තොට අජිත් රාජපක්ෂටයි. ඔහු දේශපාලන ජීවිතයට අත්පොත් තැබුවේ 1997 ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ලෙසිනි. එවකට ලංකාවේ සිටි ළාබාලතම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ අජිත් රාජපක්ෂ ඉන් පසුව නොකඩවා අවුරුදු විස්සක් පළාත් සභා මන්ත්‍රිවරයෙක් හැටියටද දකුණු පළාත් සභාවට පත් වූයේය. ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2019 මහ ඡන්දයෙනි. පාර්ලිමේන්තුවට පැමිණ දෙවැනි අවුරුද්ද ගත වන විට අජිත් රාජපක්ෂට නියෝජ්‍ය කථානායක ධුරය ලැබිණි. මෙවරද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළද ඔහුට පාර්ලිමේන්තුවට ඒමට තරම් ප්‍රමාණවත් ඡන්ද ගණනක් හිමි නොවුණි.

පාර්ලිමේන්තුවට ආ මුල් වතාවේදීම නියෝජ්‍ය කථානායක ධුරය හිමිවීමට තරම් වාසනාවන්තයෙක් වුවත් දෙවැනි වතාවේ පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූයේ ජාතික ජන බලවේගය කිසි පදනමක් නොමැති කාරණා කිහිපයක් සත්‍ය කාරණා ලෙස ඒත්තු ගන්වමින් වෛරී සහගත දේශපාලන පණිවුඩයක් සමාජයට මුදා හැර ජනතාවගේ මනස වෙනස් කළ නිසා බව අජිත් රාජපක්ෂ කියයි. ඔහු කියන හැටියට ඔහු මෙවර මහ මැතිවරණය සඳහා තරග කර ඇත්තේද තරග නොකර බැරිකමටය. මෙවර මහ මැතිවරණයට තරග කර ඵලක් නැති බව පෙර තියාම දැනගත් නිසා වෙනදා මෙන් වුවමනාවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත නොවූ බවත් අඩුම තරමින් තමන් ඡන්දය ඉල්ලන බවට තමන්ගේ පුද්ගලික වාහනයේවත් ස්ටිකරයක් හෝ නොගැසූ බවත් ඔහු කියයි.

පාර්ලිමේන්තු වරම් නොලදද මේ වන විටත් අජිත් රාජපක්ෂ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සැලසුම් කරමින් සිටින්නේය.

"අපි හැමෝටම මව් පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂවල යම් යම් ප්‍රශ්න තිබෙන බව ඇත්ත ඒත් ඒ ප්‍රශ්න විසඳාගෙන අලුත් ගමනක් පටන් ගන්න අපට බැරිකමක් නෑ. අපිත් එක්ක හිටිය වගේම අපෙන් කැඩිලා ගිය අය එකතු කරගෙන අලුත් සන්ධානයක් හදාගෙන අලුත් දේශපාලන ගමනක් යන එක තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. අපි සිලින්ඩරේට එකතු වුණේ තාවකාලිකවනේ. පොහොට්ටුව තුළ යම් යම් තනතුරුවල සංශෝධන විය යුතුව තියෙනවා. මම දන්න විදිහට ඒ වෙනස්කම් කරන්න කාගෙවත් අකමැත්තක් නෑ. අවශ්‍ය වෙනස්කම් පිළිබඳ නාමල් මහත්මයා සමග වගේම අනෙක් පිරිසත් සමගත් අපි සාකච්ඡා කළා. හැමෝම එකතු කරගෙන ආණ්ඩුවට බලපෑම් කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් හදන එකයි අපේ බලාපොරොත්තුව. මේ දවස්වල ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්නේ"

මෙවර මහ මැතිවරණයට තරග කළ බොහෝ ප්‍රබලයන්ගේ පරාජයට හේතුව ජාතික ජන බලවේගය පදනම් විරහිත වෛරී දේශපාලනයක් සමාජගත කිරීම බව කියන පිරිස අතර හිටපු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සිටින්නේය. හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත්‍රයා වන ඔහු සිය දේශපාලන ජීවිතය අරඹා ඇත්තේ 1997 වර්ෂයේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරමින් ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ 2010දීය. යහපාලන ආණ්ඩුව සමයේ ඔහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 147,958 ක් ලබාගෙන නැවැතත් කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට ආ හෙතෙම ජාතික උරුමයන් හා ග්‍රාමීය කලා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවේය. 2022 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා හැටියට කෙටි කාලයක් කටයුතු කළ වික්‍රමනායකට පසුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වගකීම පැවැරුණි. බොහෝ දෙනෙක් නොදැන සිටියද විදුර වික්‍රමනායක කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනාගත් අයෙකි. ඔහු කලක් පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්‌යේෂණායතනයේ විද්‍යාඥයකු ලෙසද සේවය කළේය. මෙවර ඔහු මහ මැතිවරණය සඳහාද ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළේය. "මෙවරත් විදුර කළුතරින් පාර්ලිමේන්තුවට එනවා" ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කළද ඔහුට පාර්ලිමේන්තුවට ඒමට නොහැකි විය. එම පරාජයට හේතුව පිළිබඳව විදුර කීවේ මෙවැනි කතාවකි.

"මේ රටේ දැනට තියෙන්නේ විකෘති දේශපාලනයක්. ඒ තුළ තවත් දේශපාලන බලවේගයක් හැදීම ඉතාමත්ම අපහසුයි. නමුත් දැන් අපේ රටට ජාතික බලවේගයක අවශ්‍යතාවක් තියෙනවා. දශක තුනක් තිස්සේම මේ රට තුළ හරි ආකාරයේ ජාතික බලවේගයක් බිහිවෙලා නෑ. බිහි වූ බලවේග සියල්ලම පාහේ එක්කෝ ජාතිවාදී ස්වරූපයකට ගියා. එහෙමත් නැත්නම් එකිනෙකාගේ පුද්ගලික වුවමනාවන් වෙනුවෙනුයි ඒවා ක්‍රියාත්මක වුණේ. ඒ නිසාම ඒවා නිෂේධ වෙලා ගියා.

ජාතික බලවේගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් අපි නොපැකිළිව ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඇත්තටම දේශපාලන බලවේග පසුපස යෑමෙන් මේ වෙලාවේ අපිට වගේම ජනතාවටත් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ."

මේ රටට ජාතික බලවේගයක අවශ්‍යතාවක් පවතින නිසා අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා කැපවන බව කියූවත් දේශපාලනික වශයෙන් ඉදිරියේදී කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන්ද ඔහු තවමත් ස්ථීර තීරණයක් ගෙන නැත. එහෙත් විදුරගේ කතාවෙන් අපට නම් තේරුණේ ලාභ අලාභ ආදී අටලෝ දහමට කම්පා නොවී පරාජයත් උපේක්ෂාවෙන් දරා ගන්නට ඔහු හිත පුහුණු කර ඇති බවය.

විදුර වික්‍රමනායක මෙන්ම රමේෂ් පතිරණද පාර්ලිමේන්තුවට ගියේ පියාගේ අඩිපාරේ ගමන් කරමිනි. ඔහු හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණගේ එකම පුතාය. වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන රමේෂ් පතිරණ ජනතා නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගියේ සිය වෛද්‍ය වෘත්තියට සමු දෙමිනි. දේශපාලනයට ඒමට පෙර ඔහු පෞද්ගලික වෛද්‍ය සමාගමක අධ්‍යක්ෂ ධුරයක්ද දැරුවේ ලොකු වැටුපකට හිමිකම් කියමිනි. එම රැකියාව අතහැර රමේෂ් පතිරණ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2010 මහ මැතිවරණයේදීය. එදා සිට වසර 14ක කාලයක් ඔහු මහජන නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත්තේය. වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍යාංශ දැරූ රමේෂ් පතිරණ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළේය. තවත් විදිහකට කියනවා නම් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල සිරගතවීමෙන් හිස්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම රනිල් වික්‍රමසිංහ දුන්නේ රමේෂ් පතිරණටය. මෙවර මහ මැතිවරණය සඳහා රමේෂ් පතිරණ තරග කළේද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙනි. ඔහුට අත්වූයේත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ බොහෝ දෙනෙකුට අත් වූ ඉරණමමය. ඔහු කියන හැටියට පාර්ලිමේන්තුවට යාම සඳහා මදි වී තිබුණේ ඡන්ද හත්සියයක ගණනකි. එහෙත් ඡන්දය දුන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ට ස්තුතිවන්ත වීමට සහ ජාතික ජන බලවේගය ජයග්‍රහණයට සුබ පැතීමට ඔහු අමතක කළේ නැත. වෙනත් මැතිවරණවලදී ලැබූ ඡන්ද ගණන මෙවර අහිමි වූයේ ඡන්දදායකයන් කොටස් වශයෙන් බෙදී ගොස් ඇති නිසා බව පරාජයට හේතු කියමින් රමේෂ් පතිරණ කියා සිටින්නේය.

පාර්ලිමේන්තුවට තේරී පත් නොවුණත් ඔහු සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන කටයුතු කළ එම පෙරමුණේ කොටසක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දුන් සහ ඉන්පසුව මැතිවරණයට තරග කළ පිරිස සමග එකතු වී ඉදිරියේදී ගන්නා දේශපාලන ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි. එම සාකච්ඡාවලින් අනතුරුව දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දුව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන බවද රමේෂ් කියයි. ඔහුට අනුව එළැඹෙන පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් සූදානම් වීමට අවශ්‍ය මූලික වටයේ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන්ද මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර අහවරය.

මේ ආකාරයට බොහෝ දෙනෙක් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සැලසුම් සකස් කරමින් සිටියද, ඉදිරියේදී දේශපාලනික වශයෙන් කළ යුතු වන්නේ මොනවාදැයි කල්පනා කිරීමේ අවශ්‍යතාවක්වත් නොමැති බවත් දේශපාලනික වශයෙන් ඉදිරියේදී කරන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බවත් කියන්නේ හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරයි.

මහජන නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුවට යාමට පෙර ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකි. ස්වර්ණවාහිනියේ මෙන්ම ජාතික රූපවාහිනියේ ඔහු ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කළේය. 2004 පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් දේශපාලනය ප්‍රවේශ වූ මනූෂ, පසුව එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය සමග එක්වූයේය. මෙවර මහ මැතිවරණයේදී සජබෙ අතහැර සිලින්ඩරයෙන් තරග කළ ඔහුටද පාර්ලිමේන්තුවරම් අහිමි විය.

"මේ රටේ පාලනය වෙනස් විය යුතුයි කියලා සාතිශය බහුතරයක් ජනතාව තීන්දු කරලා තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මොනවාද කියලා කල්පනා කළ යුතු නැහැ කියලයි මගේ අදහස. ඒකෙ තේරුම මම දේශපාලනයෙන් ඉවත් වෙනවා හෝ මට දේශපාලනය ගැන කලකිරිලා කියන එක නෙවෙයි. ආණ්ඩුවට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. එළියේ හිටියත් අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක නම් නවත්තන්නෙ නෑ. අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් අපි ආණ්ඩුවට අකුල් හෙළන්නේ නෑ. යම් පිරිසක් එකතු වෙලා වට්ටපු රටක් ගොඩ දාන්න දායක වුණු අපිට නැවත මේ රට වට්ටන්න වුවමනාවක් නැහැ."

මනුෂ නානායක්කාර කියන ආකාරයට මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකරන ලෙසට ඔහුට බොහෝ දෙනෙක් යෝජනා කර ඇත. සැබෑ ජනතා සේවකයා කිසිවිටෙක අභියෝග හමුවේ පලා නොයන නිසා මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බව ඔහු කියයි.

"මේ දවස්වල යම් යම් පිරිස් මට අහේතුකව චෝදනා එල්ල කරනවානේ. ඒත් සමගම යම් යම් අසත්‍ය තොරතුරුත් සමාජගත වෙනවා. ඒ පර්‌යේෂණ කටයුතු සඳහා අවශ්‍ය නිවැරදි තොරතුරු දීලා ආණ්ඩුවට සහයෝගය දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම පහුගිය දවස්වල දේශපාලන වැඩ කටයුතු නිසා මගේ යම් යම් වැඩ කටයුතු අතපසු වුණානේ. නැවත ඒ වැඩ ටික පටන් ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා."

මනූෂ නානායක්කාර එසේ කීවේ නැවතත් මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ගමන ඇරඹීමේ බලාපොරොත්තුව ඇතිවද යන්න නම් අප දන්නේ නැත. කෙසේ වෙතත් "අපි කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ අයනේ. ඒ නිසා පක්ෂය ගනු ලබන තීන්දුවලට එකඟ වෙනවා" යැයි ඉදිරියේදී කුමන දේශපාලන කණ්ඩායමක් තෝරා ගන්නේදැයි අප ඇසූ ප්‍රශ්නයට මනූෂ පිළිතුරු දුන්නේය.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින් දේශපාලන ජීවිතය ඇරඹූ, අධ්‍යාපන, කර්මාන්ත, පරිසර, පුනර්ජනනීය බලශක්ති ආදී අමාත්‍යාංශ ගණනාවක වගකීම් දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන සුසිල් ප්‍රේම්ජයන්ත්ගෙන්ද ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව විමසීමට අපි අමතක නොකළෙමු. මේ වන විට ඔහු විදේශගත වී සිටින නිසා ඒ සඳහා නිසි පිළිතුරක් ගැනීමට නොහැකි විය. නමුත් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව සුසිල් සිටින්නේ නැවත සිලින්ඩරයට එක් නොවී බුලත් කොළය හෝ පුටුව ලකුණ යටතේ ඊළඟ මැතිවරණවලට මුහුණ දීමේ සූදානමකිනි. හැරත් ඔහු කොළඹ උසාවිවල කතා කළ දක්ෂ නීතිඥයෙකි. මැති ඇමැතිකම් නැති වුණත් කළු කෝට් කබායට යළිත් වරක් බැස්සත් ඔහුට කාසිවලින් නම් ප්‍රශ්නයක් නොවනු ඇත.

තමන්ගේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු පිළිබඳව පිරිසක් මෙලෙස අදහස් දක්වද්දී තවත් පිරිසක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද දැනගන්නට ලැබුණි. හිටපු කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය වන මහින්ද අමරවීර කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අදහසක් දැක්වීමට තවමත් කල් වැඩි බවය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ප්‍රසන්න රණවීරගෙන්ද ලැබුණේ ඊට සමාන පිළිතුරකි.

නිරෝෂා වාසල (Aruna)