
ඔබට ලොකු ඇමැතිකම් තුන හතරක්ම ලැබිලා නේද?
මේ අමාත්‍යාංශය මට ගැළපෙන මට වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක් කියන එක තමයි මගේ පිළිගැනීම. මම එහෙම කියන්නෙ ගොවි ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයක ඉන්න බව මම හොඳින් දන්න නිසයි. ඔවුන්ට ස්ථාවර ආර්ථිකයක් නෑ. ඔවුන්ට දියුණු සංස්කෘතියක් ගොඩනගා ගන්න පහසුකමක් නෑ. ජීවිත කාලයෙන් වැඩි හරියක් දුක් විඳින ජන කොට්ඨාසය තමයි ගොවි ජනතාව කියන්නෙ. මගේ අම්මා තාත්තා ඇතුළු මම දන්න වැඩි පිරිසකගෙන් මම ලැබූ අත්දැකීම තමයි රටට බත සපයන ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු නිවහනක් නෑ. අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් වැසිකිළි පහසුකම්වත් හරියට නැති පිරිසක් තමයි ගොවියෝ කියන්නෙ. කලාතුරකින් තමයි ගොවි පවුලක් මධ්‍යම පන්තිය නියෝජනය කරන්නෙ. අවුරුද්දේ වැඩි කාලයක් ගොඩ මඩ වැඩ කරන ඔවුන්ගෙන් වැඩි පිරිසක් හිඟා නොකා හිඟා කනවා කීවත් වරදක් නෑ.
ඒ වගේම සත්ත්ව පාලනය කරන අය, සුළු අපනයන භෝග වගා කරන අය ආදි මේ හැම දෙනාම සමාජ ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් කඩා වැටුණ අසාර්ථක වූ පිරිසක්. ඒ නිසා ඔවුන් දෙපයින් නගාසිටුවා තැබීමේ වගකීමක් මට පැවරී තිබෙනවා.
ඒ වගකීම මම බාර ගත්තේ සතුටින්. මට ඒක කරන්න පුළුවන් කියල මම හිතනවා.
අපි දන්නා ලාල් කාන්ත කියන්නෙ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ජොලි මනුස්සයෙක්. ඇමැතිකම නිසා දැන් ඔබ වෙනස් වේවිද?
අපි මන්ත්‍රිකම් ඇමැතිකම් කරන්න බලාගෙන දේශපාලනයට ආවේ නෑ. ජනතාවගේ ජීවිත ලස්සන කරගැනීමේ අපේක්ෂාවක් විතරයි අපිට තිබුණේ. අපි පොඩි කාලේ ඉඳලම දැක්කේ ගොවියා, කම්කරුවා හූරා ගෙන කන ප්‍රභූ පැලෑන්තියක්. ඒ හුරා කෑමෙන් ජනතාව මුදවා ගන්න තමයි අපි දේශපාලනය කරන්න පටන් ගත්තෙ. ඒ අනුව තමයි අපිට සමහර අවස්ථාවල ඇමැතිකම් බාරගන්න සිද්ධ වුණේ. මම චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ කුඩා හා ග්‍රාමීය කර්මාන්ත ඇමැතිකම බාර ගෙන කටයුතු කළෙත් එහෙමයි. මෙවරත් මට ඇමැතිකමක් නොගෙන ඉන්න බෑ. ඒකත් ගන්න සිද්ධ වුණා. මේ ඇමැතිකම මට උද්දාමයට කාරණයක් හෝ මහ අභියෝගයක් කියල දැනිලම නෑ. ඒ නිසා ඇමැතිකම අත්හැරියත් මම මාව අතහරින්නෙ නෑ. මාව නැති කර ගෙන ඇමැතිකම් කරන්න මම සූදානම් නෑ. මගේ ස්වරූපය, මගේ විදිය නැති වුණොත් ලාල් කාන්ත නැති වෙනවා. ඒ නිසා ඇමැතිකම මන්ත්‍රිකම නිසා මට මාව අත්හරින්න වුණොත් ඇමැතිකම මන්ත්‍රිකම අතහැරලා මම මාව තෝරා ගන්නවා.
ඔබේ නියෝජ්‍ය ඇමැතිවරු ටයිකෝට් දාලා වැඩ බාරගන්න ආ මොහොතේ කැබිනට් ඇමැති වූ ඔබ ටීෂර්ට් එකක් ඇඳන් ආවේ මොකද?
ඒ අවස්ථාව නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැදගත් අවස්ථාවක් නිසා ඔවුන් ඊට ගැළපෙනවා යැයි ඔවුන් තීන්දු කළ ඇඳුමකින් සැරසී ඇවිල්ලා වැඩ බාර ගත්තා. ඒක හරි. මම ඒ අමාත්‍යාංශය බාර කැබිනට් අමාත්‍යවරයා වුණත් ඔවුන් වැඩ බාර ගත්තෙ මගෙන් නොවෙයි. මම ඔවුන්ට වැඩ බාර දෙන්න එතැන්ට ආවත් නොවෙයි. ඒ නිසා ඒ අවස්ථාව මට එතරම් වැදගත් අවස්ථාවක් නොවෙයි. ඒ නිසා මම වඩාත් ප්‍රිය කරන ඇඳුමක් ඇඳගෙන ඒ අවස්ථාවට සහභාගි වුණා.
ලාල් කාන්තට ටයිකෝට් අල්ලන්නෙම නැද්ද?
මම ප්‍රිය නොකරනම ඇඳුම තමයි ටයිකෝට් එක. අනෙක මම පොඩි කාලේ ඉඳලම ඔය මන්ත්‍රි ඇඳුම අප්‍රිය කළ අයෙක්. අපි තරුණ කාලේ අපි දැක්කේ බඩ ඉස්සරහට දාගත්තු ඔය කපටි ෂූට් එක ඇඳපු මගෝඩිස්තුමෙක්. ඒ කාලේ පත්‍රවල ඒ අය හඳුන්වලා තිබුණෙ එහෙමයි. දැනුත් එහෙම අය දකින කොට මගෝඩිස්තුමා තමයි මතක් වෙන්නෙ. ඒ නිසා මම පාර්ලිමේන්තු ආව පළමු දවසෙත් ඔය ෂූට් එක අඳින්න මට හිරිකිතයක් තිබුණා. නමුත් මම පාර්ලිමේන්තු සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට ගරු කරලා ඒක ඇන්දා. ඒ සිරිත් විරිත් අනුව මන්ත්‍රිවරයෙක් ඔය කපටි ෂූට් එක හරි ටයිකෝට් හරි ජාතික ඇඳුම හරි අඳින්නම ඕනේ. මම මෙවර අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙන්න යන වෙලාවටත් කපටි ෂූට් එක අඳින්නෙ නැතුව යන්න පුළුවන්ද කියල සොයා බැලීමකුත් කළා.
කපටි ෂූට් එක හෝ ටයි කෝට් ලාල් කාන්තට අල්ලන්නෙම නැත්නම් ජාතික ඇඳුම තෝරා ගන්න පුළුවන්නෙ?
මම ජාතික ඇඳුම කිසිම දවසක ඇඳලා නෑ.
මට දැන් හිතෙනවා ඕක ඇඳලා බලන්න ඕනේ කියල.
එදා ඔය ඇඳුමේ හුටපටය ගැන යහළු මිත්‍රයොත් ඔබට කතා කරන්න ඇති නේද?
ඔයා ඉතින් පත්‍රකාරයෙක්නෙ. කොහෙන් හරි කතාව හොයා ගෙන නොදන්නවා වගේ අහනවා. ඔව්, මගේ මිත්‍ර චම්පික රණවක මට කතා කරලා මට සුබ පතන ගමන් කියනවා ඔය ඇඳුම නම් හරි යන්නෙ නෑ කියල. ඒ වෙලාවේ මම කීවා එහෙම නම් ඔය එයා අඳින අඩි හයක් විතර උස කමිසයි සුදු සරමයි මට එවන්න කියලා. මොකද දැන් එයාට පාර්ලිමේන්තු යන්නත් නැනේ. ඒක අහලා එයා කියාපි මගේ ඇඳුම් ඔයා අඳින්න ඕනේ නෑ, ඔයාගේ මැෂිමන්ට් එක එවන්න. මම ෂූට් කීපයක් මහලා දෙන්නම් කියල. ඒක අහල අපි හිනා වුණා. ඒ අතරේ මම මගේ හිතවත් හාමුරුවෝනමක් හමු වෙන්න ගියාම උන්වහන්සේ කිව්වෙ, ඇමැතිතුමා ඔබතුමාගේ සරල ඇඳුමට මම හරි කැමතියි කියලයි. සමහරු ඇඳුම්වලින් ප්‍රභූත්වය රැක ගන්න හදනවා. තවත් සමහරු වාහනයෙන් ප්‍රභූත්වය රැක ගන්න හදනවා. තවත් සමහර අය තමන් ඉඳ ගන්න පුටුවෙනුත් ප්‍රභූත්වය රැක ගන්න බලනවා. ඒ හැම දේම කණපිට පෙරළලා වැඩ කරල ප්‍රභූත්වය රැක ගන්න හදන ලාල් කාන්තට මම කැමතියි කියල හාමුදුරුවො කියාපි. ඒ වෙලාවේ එතැන හිටපු තවත් ස්වාමීන් වහන්සේනමක් විමල් මතක් කරලා ඒ අය ඇඳුමෙන් ප්‍රභූත්වය රැක ගන්න හදපු අයනෙ කියල කීවා. මම ඒ වෙලාවේ ඒ හැමෝම ඉදිරියේ විමල් වීරවංශට දුරකථන ඇමැතුමක් ගත්තා. එයා කතා කරන්න ගත්ත ගමන් කීවේ ලාල් අර ඇඳුම නම් හරි යන්නෙ නෑ කියල. මම ඒ වෙලාවේ කීවා උඹ විමල් වීරවංශ, මම ලාල් කාන්ත ඒ නිසා උඹ උඹේ විදියට ඉඳලා දැන් කෙලවාගෙනනෙ තියෙන්නෙ කියල. මම හැමදාම ඉන්නෙ මගේ විදියට කියල උඹ මතක තියා ගනින් කියලත් මම විමල්ට කීවා. ඒ අතරේ මාධ්‍යවේදින් කීපදෙනකුත් මගේ ඔය ඇඳුම ගැන කතා කළා. ඇත්තටම මම එදා ඇඳ ගෙන ගියේ ටීෂර්ට් රෙද්දට සමාන රෙද්දකින් මසා නිම කළ අත් කොට ෂර්ට් එකක්. නමුත් මාධ්‍ය ඒක ටීෂර්ට් එකක් විදියට හඳුන්වලා තිබුණා.
ලාල් අයියා, ලාල් සහෝදරයා කියල ඔබට හැමෝම කතා කළේ. දැන් ඒ අය ලාල් කාන්ත ඇමැතිතුමා කියලද කතා කරන්න ඕනේ?
මට එදා අයියා, සහෝදරයා, මචං, ලාලා වැනි විවිධ විදියට කතා කළ සමහර අය දැන් මට කතා කරන්නෙ ඇමැතිතුමා කියල. මම එහෙම අයගෙන් අහනවා අපි තනතුරුවලින් ඔළුව ඉදිමුවා ගන්නෙ නැතුව සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්න හදන කොට උඹලා අපිව උස්සලා සමාජයෙන් කොන් කරන්න හදන්නෙ ඇයි කියල. එහෙම අපිව නැති කරන්න හදන්න එපා. කරුණාකරල හැමෝටම මට වෙනදා විදියටම කතා කරන්න කියලයි මම කියන්නෙ.
ඔබ ජනාධිපති අනුර කුමාරට, අගමැතිනි හරිනිට කොහොමද කතා කරන්නෙ?
රාජකාරි වෙලාවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුර කුමාර සහෝදරයාට මම ජනාධිපති කියල ආමන්ත්‍රණය කරනවා. හරිනි සහෝදරියට අගමැතිතුමිය කියල ආමන්ත්‍රණය කරනවා. රාජකාරියෙන් බැහැර හැම විටම අපි එකිනෙකාට කතා කරන්නෙ සහෝදරයා සහෝදරිය කියලයි. ඉකුත් සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පස්සේ මමත් මගේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නාත් අනුර කුමාර සහෝදරයා හමු වෙන්න ගියා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යාංශය බාරව කටයුතු කළේ අනුර කුමාර සහෝදරයා. මට ඒ අමාත්‍යාංශය බාර දෙනතුරුම පක්ෂයක් විදියටත් ඒ විෂයට අදාළ කටයුතු කළේ අනුර සහෝදරයා. ඒ අත්දැකීම් බෙදා ගන්න අප හමු වුණාම අපි හතර දෙනා සහෝදරයෝ විදියට ආමන්ත්‍රණය කර ගත්තා හැර තනතුරු එතැන්ට ගාව ගත්තෙ නෑ. අපි හැමෝම කටයුතු කරන්නෙ එහෙමයි.
ඔබට අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරින් ආමන්ත්‍රණය කරන්නෙ සර් කියල නේද? ඒ වෙලාවට මොනවද හිතෙන්නෙ?
අපේ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට අපි කියල තියෙනවා ඇමැතිතුමා කියල ආමන්ත්‍රණය කරන්න කියල. අපිත් ඒ නිලධාරින්ට ආමන්ත්‍රණය කරන්නෙ තනතුරු නාමයෙන්. සමහර අය පුරුද්දට සර් කියනවා. අපි සර්ල නොවෙයි කියල ඒ අයට මතක් කළාම ආයේ තනතුරු නාමය මතක් කර ගන්නවා. අපි මොන තනතුරු දැරුවත් අපි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන අය කියන හැඟීම ඇති කර ගත්තාම ආමන්ත්‍රණය කරන විදිය ගැන ප්‍රශ්න මතු වෙන්නෙ නෑ.
මොකද වැඩ කරන කොට අපි ඔක්කොම සමානයි. මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ මගේ පෞද්ගලික ලේකම් ඇතුළු පහළොස් දෙනෙක් ඉන්නවා. ඒ අයත් මට ඇමැතිතුමා කියා ගෙන ආවා. දැන් ඒ අයත් ස්ථානෝචිතව සහෝදරයා කියන්න පටන් ගෙන තිබෙනවා. මම ඒ අයට නංගි මල්ලි සහෝදරයා කියල තමයි ආමන්ත්‍රණය කරන්නෙ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නිල නිවාස නොදෙන්න රජය තීන්දු කර තිබෙනවා. එහෙම නම් අයවැය වැනි දිනපතා මාස එකහමාරක් එක දිගටම තිබෙන විවාදවලට මන්ත්‍රිවරු නිවෙස්වල ඉඳලමද එන්න ඕනේ?
මාදිවෙල මන්ත්‍රි නිල නිවාස පාවිච්චි කරන්න එපා කියල නෑ. ඒ එක නිල නිවසක කාමර දෙකක් තිබෙනවා. ඕනේ නම් ඇතුළේ තවත් කාමරයක් වෙන් කරලා හදා ගන්න පුළුවන්. ඒ එක් නිවාසයක් දෙතුන් දෙනකුට පාවිච්චි කරන්න පුළුවන්. චන්ද්‍රිකා ආණ්ඩුවේ අපි ඇමැතිකම් කරද්දීත් අපි නැවතිලා හිටියේ මාදිවෙල මන්ත්‍රි නිල නිවාසවලයි. ඒ නිසා මේ තීරණය අපි ගත්තු අලුත් තීරණයක් නොවෙයි. මම මාදිවෙල නැවතිලා නෑ. වසර ගණනාවක් මගේ නැදෑයකුගේ ගෙදරක් කුලියට අරන් ඉන්නෙ. නමුත් මාදිවෙලට මම යනවා එනවා. කවුරු හරි ඇහුවාම මම එහෙ තමයි ඉන්නෙ කියල කියනවා. මට නම් නිල නිවාස අවශ්‍යත් නෑ. මාදිවෙල නිවාස අවශ්‍යත් නෑ.
කැබ් රථයක් පාවිච්චි කළ ඔබට දැන් සුඛෝපභෝගී වාහන ලැබිලා. දැන් මොකක්ද පාවිචිචි කරන වාහනය?
අපි අමාත්‍යාංශවල වැඩ බාර ගෙන අපිට වැඩ කරන්න වාහනයක් හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ වෙලා තියෙන්නෙ. අපිට වෙන් කරලා තියෙන මහ විශාල වාහන ඉන්ධන ලීටරයට කිලෝමීටර් දෙකයි තුනයි දුවන්න පුළුවන්. අනෙක නිලධාරින් පාවිච්චි කරන වාහනයට වඩා අඩු පහසුකම් ඇති වාහන ඇමැතිවරයා පාවිචිචි කරනවාට නිලධාරින්ගෙ කැමැත්තක් නෑ. ඉදිරියේ කවදා හෝ දිනක එය ප්‍රශ්නයක් වෙයි කියල ඒ අය හිතනවා ඇති. ඒ නිසා තමයි අපිට ගැළපෙන වාහනයක් හොයා ගන්න බැරිව තිබෙන්නෙ. කොහොම වුණත් දැන් තරමක් මගේ කැබ් එකට සමාන වාහනයක් මම හොයා ගෙන ඒක තමයි පාවිච්චි කරන්නෙ. මම ඇමැතිකම බාර ගෙනත් දින දෙක තුනක් පරණ කැබ් එකම අතින් තෙල් ගහගෙන පාවිචිචි කළා. අපි විශ්වාස කරනවා ජනතාවට නැති වරප්‍රසාද ඔවුන් ගේ නියෝජිතයන් වන මැති ඇමැතිවරුන්ට අවශ්‍ය නෑ කියල.
පසුගිය ආණ්ඩුවල ඇමැතිවරු තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගෙන සිටි අය ගෙන් බහුතරය පවුලේ සාමාජිතයෝ. ඔබේ කාර්ය මණ්ඩලයෙත් පවුලේ අය ඉන්නවාද?
මගේ පවුලේ කිසිම කෙනෙක් එහෙම ඉල්ලීමක්වත් කරලා නෑ. අනෙක අපේ පෞද්ගලික කාර්ය මණ්ඩලය තෝරා ගන්නෙ අපි නොවෙයි. අපේ පක්ෂයට සම්බන්ධ වෙනත් ආයතනවලින් තමයි අපිට කාර්ය මණ්ඩලයට ගැළපෙන අය තෝරලා එවන්නෙ. අපි ඒ අයත් එක්ක වැඩ කරනවා. ඒ නිසා පවුලේ හෝ දන්නා හඳුනන අයවත් අපේ කාර්ය මණ්ඩලවලට පත්වෙන්නෙ නෑ. විදේශ ගමන්වලදිත් අපි අපිට ඕන කෙනෙක් එක්කර ගෙන යන්න බෑ. අපි සමග යා යුතු අය තීරණය කරන්නෙ අපේ පක්ෂයේ වෙනත් ආයතනවලින්. අපි දේශපාලනයයි පෞද්ගලිකත්වයයි යහළු මිත්‍රකමුයි පටලවා ගන්නෙ නෑ.
කොල්ල වගේ පාර්ලිමේන්තුවට ආව ලාල් කාන්ත ඇමැතිකම දරා අවසන් වෙලා යන කොට ඔබම මුලින් කියු මගෝඩිස් කෙනෙක් විදියට බඩ එහෙම මෝරලා තියෙයි නේද?
මම හිතන්නෙ ඔබට නිමල් සිරිපාල, බන්ධුල ගුණවර්ධන වැනි අය මතක් වෙලා වෙන්න ඇති මගෙනුත් අහන්නෙ. අසනීප තත්ත්වයකයට එහෙම වුණොත් ඇරෙන්න පාර්ලිමේන්තු ඇවිල්ලා ඇමැතිකමක් ගත්තාට අපේ මන්ත්‍රිවරුන්ගේ බඩ ඇඟපත මෝරන එකක් නෑ කියල මම හිතනවා.
මහ මැතිවරණයෙන් ලංකා වාර්තාවක් තබා වැඩිම මනාප ගත් විජිත හේරත් අගමැති ලෙස පත් නොකළේ ඇයි?
අපි අගමැති ඇමැතිවරු ලෙස පත් කරන්න ඕනේ කවුද කියල ජාතික ජන බලවේගයේ විධායක සභාවෙදී සාකච්ඡා කරල තමයි තීන්දු ගන්නෙ. ඒ තීන්දු අනුව තමයි අගමැති ඇමැතිවරු පත් කරලා තිබෙන්නෙ.
ඔබ නායකත්වය දුන් වෘත්තීය සමිතිවල නියෝජිතයන් දැන් විදුලිබල මණ්ඩලයෙන් බෝනස් ඉල්ලනවා. ඒ ගැන මොනවද කියන්නෙ?
ලංකා විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල් සහෝදරයා ඉදිරිපත් කරන කරුණුවල ගැඹුර ඉතාම නිවැරදියි. අපිත් බලයට එන්න කලින් වැඩ කරන පන්තිය වෙනුවෙන් අරගල කරපු ව්‍යාපාරයක්. අපි ආණ්ඩුවට ආව කියල ඒ වුවමනාවන් අතහරින්න අපිට බෑ. එදා අපි එකතුව සිටි වෘත්තීය සමිති දැන් ආණ්ඩුවට හිතවාදී වෘත්තීය සමිති ලෙස කටයුතු කළත් එදා විටින් විට කළ ඉල්ලීම් වත්මන් රජයටත් මතක් කර දීලා ඒ ඉල්ලීම් වෙනුවෙන් පෙනී ඉන්න ඔවුන්ට වගකීමක් තිබෙනවා.
මහනුවරින් පාර්ලිමේන්තු ගිය ඔබ ඇමැතිකම කරන්නෙ නුවර නැවතිලාද?
මගේ අමාත්‍යාංශය පිහිටුවා තිබෙන්නෙ කොළඹ. කැබිනට් එක පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නෙ කොළඹ. ඒ නිසා මට මාසයෙන් වැඩි කාලයක් කොළඹ රැඳෙන්න සිදුව තිබෙනවා. නමුත් මහනුවරින් පත්වූ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නා හා සෙසු මන්ත්‍රිවරුන් මහනුවර කටයුතු බෙදා ගෙන කටයුතු කරනවා. දැනටමත් මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මන්ත්‍රිවරුන්ට වෙන් කරලා දීලා ජනතාවගේ අවශ්‍යතා හොයල බලලා කටයුතු කරන්න මග පෙන්වා දී තිබෙනවා. මම දැනට දුරකථනයෙන් ඒ අයත් එක්ක සබඳතා පවත්වනවා. හැකි හැම විටම මම නුවර කටයුතුවලට සම්බන්ධ වෙනවා.
කන බොන විනෝදයෙන් කල් ගෙවන ඔබ ඇයි අබා සංගීත ප්‍රසංගයට නොගියේ?
ඇත්තටම මට අනාරාධිතව එතැනට යන්න පුළුවන්කමක් තිබුණෙ නෑනේ. අගමැතිනිය ඇතුළු අපේ කණ්ඩායමක් එතැනට සහභාගි වීම ගැන මම සතුටු වෙනවා. විවිධ ජන කණ්ඩායම්වල විවිධත්වයට අපි ගරු කරමින් ඒවා එක්ක එකතු වෙන්න ඕනේ. අපි ජනතාවත් එක්ක ඉන්න ඕනේ පොල්තෙල් හා වතුර වගේ නොවෙයි, අරක්කු හා සෝඩා වගෙයි කියල මම හිතනවා. ඔබ කිවානෙ මම කන බොන කෙනෙක් කියල. එහෙමයි කියල මගේ ප්‍රථම හා ප්‍රමුඛ කාර්ය මට පැවරී තිබෙන වගකීම් ඉටු කරන එකයි. ඊට හානියක් වෙන විදියට කන්න බොන්න මම සූදානම් නෑ. අදටත් එදා වගේම ආරාධනා යහළු මිත්‍රයින්ගෙන් ලැබෙනවා. ඒ හැම එකක්ම දැන් මගේ වගකීමට පහළින් තමයි තියෙන්නෙ.
ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ නිහාල් ගලප්පත්තිට තනතුරක් අහිමි වෙන්න හේතුව මොකක්ද?
නිහාල් ගලප්පත්ති සහෝදරයා අපේ ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු අසනීප තත්ත්වයෙන් සිටින නිසා වගකීම් ගන්න කැමැති වුණේ නෑ. ඒ නිසයි ඒ සහෝදරයාට වගකීමක් දෙන්න නොහැකි වුණේ. වෙන හේතු කිසිවක් නෑ.
ජයසූරිය උඩුකුඹුර-Aruna
Comments
Post a Comment
Your comment will be visible after approval