india-rice-import

රටේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීමත් සමග පිටකොටුව ආනයනකරුවන් පනස් දෙනකු පමණ පෙරේදාම (3) ඉන්දියාවෙන් සහල් ආනයනයට ඇණවුම් කර ඇත.ඒ අනුව, ඔවුන් නාඩු, කැකුළු හා සම්බා සහල් මෙට්‍රික් ටොන් 25,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ආනයනකරුවන්ගේ ආරංචි මාර්ග සදහන් කරයි.




 සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද අඩු කරන්නැයි ඔවුන් රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙරටට සහල් කිලෝවක් ගෙන්වීමේදී රුපියල් 225ත් 230ත් අතර මිලක් වැය වන බැවින්, පාරිභෝගිකයන්ට සහන මිලකට සහල් ලබා දීමට නොහැකි වන බව ද ඔවුහු පෙන්වා දෙති.


සහල් ආනයනය කිරිමේදී පනවා ඇති කිලෝවට රුපියල් 65ක බද්ද රුපියල් 50 දක්වා අඩු කර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී ඉල්ලා සිටි බව පවසන ආනයනකරුවෝ,

සහල් බද්ද රුපියල් 50 දක්වා අඩු කළේ නම්, කිලෝවකට වැය වන්නේ රුපියල් 195ත් 200ත් අතර මිලක් බැවින්, පාරිභෝගිකයන්ට අඩු මිලකට සහල් දීමට හැකි බවත් පවසති.


මේ අතර, සහල් ගෙන්වීමට අවසර දී ඇත්තේ මේ මස 20 වැනිදා දක්වා පමණක් වන නමුත්, එම කාලය ප්‍රමාණවත් නොමැති නිසා එම කාලය තුළ ආනයනය කිරිමට හැකි වනුයේ සහල් සුළු ප්‍රමාණයක් බව ද ආනයනකරුවෝ පවසති.දෙසැම්බර් 31 වැනිදා දක්වා සහල් ගෙන්වීමට අවසර දුන්නේ නම්, මීට වඩා සහල් විශාල තොගයක් ගෙන්වීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති.

මහින්ද නිශ්ශංක