hatton-bus-incident

හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේදී මගීන් තිදෙනකුට දිවි අහිමි කරමින් තවත් පනස් දෙනකුට තුවාල සිදුකරමින් ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ රියැදුරු අසුනේ දොරටුවේ අගුළු කලක් තිස්සේ ක්‍රියා විරහිතව තිබී ඇති බවට නුවරඑළිය ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක දමින්ද සේනානායක විසින් කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය පසුගිය 21 වැනිදා රියැදුරුගේ පාලනයෙන් මිදී අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී ගිය අතර එම බස් රථය නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක විසින් (23) දින පරීක්ෂාවට ලක් කෙරිණි.



බස් රථයේ රියැදුරු පොලිසිය හමුවේ පවසා තිබුණේ රියැදුරු අසුනේ දොරටුව එකවරම විවර වූ බවත් එය වැසීමට උත්සහා කිරීමේදී බස් රථය පාලනයෙන් මිදී පෙරළී ගිය බවත් ය.

මෝටර් වාහන පරීක්ෂකවරයාගේ විමර්ශනයට අනුව බස් රථයේ රියැදුරු දොරටුව විවෘත වී ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත වී තිබීම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවත් මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කරගෙන ඇත.

තවද රියැදුරුගේ ආරක්ෂිත බඳ පටිය නොමැති බවත්, බස් රථය තුළ අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබීම නිසා මගින් තිදෙනකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු වීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලිසිය වෙත පැවැසීය.



බස් රථයේ ආසන ප්‍රමිතියකට සවි කර නොතිබීම නිළ වීමට හේතුව වී බවද මෝටර් රථ පරික්ෂකවරයා පැවැසීය.

මගී ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවි කර ඇති උපාංග ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරින්ට පැවැසීය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් පොලිසිය පැවැසීය. 

(සිතාර ඉරාෂ් - වටවල)