Eight-Indonesians-in-Nuwara-Eliya-remanded-for-not-having-passports-or-visas

ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා නොමැතිව නුවරඑළිය – මුස්ලිම් පල්ලියක රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් අට දෙනකු පෙරේදා (2) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ බව නුවරඑළිය පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.




නුවරඑළිය පොලිසියට ලැබුණු තොරතුරක් මත එම පල්ලියට ගොස් ඉන්දුනීසියානු ජාතිකයන් අට දෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර බැලීමේදී, ඔවුන් සංචාරක වීසා මත මීට මාස දෙකකට ප්‍රථම දිවයිනට පැමිණ ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ළඟ ගුවන් ගමන් බලපත්‍ර හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වී ඇති නිසා වීසා අලුත් කිරීමට සියලු ලියකියවිලි මෙරට තම තානාපති කාර්යාලයට භාර දුන් බවත් පවසා ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා නුවරඑළිය ප්‍රදේශයට පැමිණීමට ප්‍රථම හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අවුරුදු 25ත් 26ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම අට දෙනා සමග තවත් 191 දෙනකු මෙරටට පැමිණ, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සඳහා යොමු වී ඇති බව පවසා ඇත.ඔවුන් සමග මෙරටට පැමිණි අනෙක් 191 දෙනා සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඔවුන් ඊයේ (3) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 14 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධික ලංකාගනී මෙනවිය නියෝග කළාය.
(රංජිත් රාජපක්ෂ)