යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා, සමගි ජන බලවේගයේ ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මහත්වරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක ලේකම් කාරියාලය අසලදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් එහි දැඩි උණුසුම් තත්වයක් ඊයේ (3) පස්වරුවේ ඇති විය. රාමනාදන් මන්ත්‍රීවරයා සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාට එහිදී පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි දැනගන්නට ඇත.




විපක්ෂ නායක ලේකම් කාර්යාලය අසලට පැමිණි රාමනාදන් මන්ත්‍රීවරයා තේරීම් කාරක සභාවට තමාගේ නම ඇතුළත් නොකළේ ඇයි දැයි ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත. “ඒවා අපෙන් නොවෙයි පක්ෂ නායකයන්ගෙන් අහගන්න” යැයි සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා එහිදී පවසා ඇති අතර, එහිදී රාමනාදන් මන්ත්‍රීවරයා ඔහුට බැණ වැදී ඇතැයි වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිසබයේදී අදහස් දැක්වූ අර්ජුනා රාමනාදන් මහතා මෙසේ පැවැසීය.


"මට කාලය වෙන් කිරීම ගැන අහන්න විපක්ෂ නායකතුමාගේ ලේකම්ගේ කාර්යාලයට ගියා. සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා.



පාර්ලිමේන්තුව ඇතුළේ මේ වගේ දේවල් වෙනවා නම් අපි පාරේ බැහැලා යන්නේ කොහොම ද? මම දොස්තර කෙනෙක්. මම අත උස්සන්න යන්නේ නැහැ."


නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය:


“ඔබතුමා ඔය ගැන කතානායකතුමාට පැමිණිලි කරන්න.


සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:

 

“මේ යාපනයේ ස්වාධීන මන්ත්‍රීවරයා විපක්ෂ නායක ලේකම්වරයාගේ කාර්යාලයට ඇවිල්ලා අසභ්‍ය ලෙස බැණ වැදුණා. නොගැළපෙන ලෙස හැසිරුණා. අපි මේ ගැන කතානායකතුමාට පැමිණිලි කළා. මේ ගැන පරීක්ෂණයක් කරන්න. ගැළපෙන්නේ නැති මන්ත්‍රීවරු වෙන තැනක වාඩි කරන්න. සමහරුන් උගත් වුණාට බුද්ධිමත් නැහැ."


කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සුපිත් සංජය පෙරේරා මහතා:


“මෙතුමා බරපතළ ප්‍රකාශයක් කරනවා, මම එතුමාට පහරදුන්නා කියලා, එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මට එතුමා තර්ජනය කළා."

(අංජුල මහික වීරරත්න)