
බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්මශාලාවේ, ධර්මාසනය මත මියගොස් සිටි පුද්ගලයකුගේ සිරුරක් ඊයේ (23 වැනිදා) අලුයම සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ විකිලිය පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතිබවට හඳුනාගෙන තිබිණි. මෙම පුද්ගලයාගේ සිරුර ධර්මාසනය මත තිබෙනු විහාරස්ථානයේ වැඩවසන සාමණේර හිමිනමක විසින් දැක ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ නායක හිමි දැනුවත් කර පසුව බලන්ගොඩ පොලිසියට දන්වා තිබිණි.
මියගිය පුද්ගලයා නිතරම විහාරස්ථානයට යන එන අයෙක් බවට හඳුනාගෙන ඇති බවත්, මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිසිය පැවසීය.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බලන්ගොඩ මූලික රෝහලට රැගෙන යෑමට පොලිසිය කටයුතු කළේය.
බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩිගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.ආර් .ජී.කේ. බණ්ඩාර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවති.
(එන්. එස්. ප්‍රියනන්දන - බලන්ගොඩ)
Comments
Post a Comment
Your comment will be visible after approval