
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහට අයත් සුඛෝපභෝගී වාහනය වහා ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (නොවැ. 11) නියෝග කර තිබේ.
එම සැක සහිත වාහනය සුජීව සේනසිංහ භාරයේ තබා ගැනීම හේතුවෙන් එය අස්ථානගත වී හෝ අනතුරකට ලක්වීමේ හෝ හැකියාවක් ඇති බැවින් එම වාහනය අධිකරණය භාරයට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා ය.
එම වාහනය නීති විරෝධී අයුරින් කොටස් එකතු කර සකස් කළේ දැයි අනාවරණය කර ගැනීම සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.
සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ නීති විරෝධී ලෙස එකලස් කර සකස් කරන ලද වාහනයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත වලාන විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබිණි.
අනතුරුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව එම V8 මෝටර් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණය නියෝග කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval