
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පසු වැඩ තහනමට ලක් කර, පසුව අනිවාරිය නිවාඩු යැවූ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහි පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළදී අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට ඊයේ (19) නියෝග කළේය. නියෝජය පොලිස්පති නාලක සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා වැඩ තහනමට ලක් කිරීමෙන් පසු අනිවාර්ය නිවාඩු යැවීමට ද වගඋත්තකරුවන් කටයුතු කළේ යැයි කීය. තම සේවාදායකයාට එරෙහිව පරීක්ෂණ කටයුතු කිහිපයක් ඇති නමුත්, එම පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් තම සේවාදායකයාට ලැබීමට නියමිත උසස් වීම් අහිමි වූ බව ද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහි සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට ජාතික පොලිස් කොමිසමට නියම කළ විනිසුරු මඬුල්ල, පෙත්සම ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා කැඳවීමට නියම කළේය.
(රන්ජන් කටුගම්පොළ)
Comments
Post a Comment
Your comment will be visible after approval