
ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු නිරුවත් කර නවකවදය දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසියේ කොස්තාපල්වරයෙක් ඒම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (29) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.ආධුනික කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතවර සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම, කෲර හෝ නින්දිත ලෙස සැලකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධී අයුතු ලෙස පොලිස් තනිකඩ බට නිවෙසට ඇතුළුවීම යන චෝදනා යටතේ මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිමකර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා තිස්සමහාරාම පොලීසියට රාජකාරී සඳහා වාර්තාකර තිබිණි යැයි පොලිසිය කියයි. කොස්තාපල්වරයා මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළ ගස්වා නවක වදය දීමේ අරමුණින් නිරුවත් කර ඇතැයි පොලිසිය පැවැසීය.
තමන් නිරුවත් කර නවක වදය දුන්නේ යැයි කියමින් මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval