
මිතුරන් කිහිප දෙනකු සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සදහා කසිප්පු බෝතලයක් පාසලට ගෙනා බව කියමින් පොලිස් භාරයට ගත් හය වැනි වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දරුවා භාර ගැනීමට එම දරුවාගේ මවුපියන්ට තිස්සමහාරාම පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නත්, ඔවුන් දරුවා භාර ගැනීමට නොපැමිණි බව පොලීසිය සදහන් කරයි.
මෙම දරුවාගේ මව සහ පියා වසර කිහිපයක සිට ඔවුනොවුන් වෙන් වී වෙනත් ප්‍රදේශවල ජිවත්වන නිසා මෙම දරුවා ආච්චි සහ සීයා ළඟ ජීවත්වන බවත් පොලීසිය පවසයි.පොලීසිය පවසන ආකාරයට, මෙම දරුවා සිය මව සහ පියා කලකින් දැක නොමැත.දරුවා පත්ව සිටින අනාරක්ෂිතභාවය ගැන දැඩි ලෙස සැලකිල්ලට ගත් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතා, සුදුසු භාරකාරීත්වයකට පත්කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීමට තිස්සමහාරාම පොලීසියට උපදෙස් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඊයේ (2) අධිකරණයට ඉදිරිපත් කර නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු යොදා තිබිණි.මෙම දරුවා ඉගෙනීමට දක්ෂයකු බව, විදුහල්පතිවරයා සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාට දැනුම් දී ඇත.මීට අමතරව, මෙම දරුවා සම්බන්ධයෙන් පරිවාස නිලධාරීන්ට සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ප්‍රවර්ධන නිලධාරි ද දැනුවත් කර, දරුවාගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval