
බිරිද නිරුවත් කර පටියකින් සහ කොසු මිටකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ දී එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට පරුෂ වචනයෙන් බැණ වදිමින් කලහකාරී ලෙස හැසුරුණේ යැයි කියමින් පෙරේදා (13) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය මූලස්ථාන පොලිසියට අනුයුක්තව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරයකු බව ද කියයි.වෙනත් පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මොහු බිරියට මෙලෙස පහර දී තිබෙන බව පොලිසිය කියයි.
කොස්තාපල්වරයාගේ බිරිඳ පහර දීම සම්බන්ධයෙන් කිලිනොච්චිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.බිරිඳ තමාට එරෙහිව පැමිණිල්ලක් කර තිබෙන බව දැනගත් පොලිස් කොස්තාපල්වරයා බිරිඳ සහ දරුවන් ඝාතනය කරන බවටත් තර්ජනය කර ඇතැයි කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
තර්ජනයෙන් බියට පත් වූ බිරිඳ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට පොලිසියට පැමිණි අවස්ථාවේ ඇයගේ කොස්තාපල් සැමියා ද එහි පැමිණ ඇතැයි පොලිසිය කියයි.ළමා හා කාන්තා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට පරුෂ වචනයෙන් බැණ වැදී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදාගෙන යති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval