
ධීවර රැකියාව කරමින් සිටියදී මීගමුව ප්රදේශයේ වූ රිය අනතුරකින් ආබාධිතයකු වු සිය සැමියා හා ගැහැනු දරුවන් තිදෙනාගේ අනාගතය යහපත් කිරීමේ අරමුණින් ඩුබායි ගෘහ සේවයට ගිය කටුගස්තොට, හල්ලොලුව රණවිරු මාවතේ පදිංචිව සිටි මාග්‍රට් අයිරාංගනී (57) මහත්මිය හදිසියේ රෝගාතුරවීම නිසා රෝහල්ගත කර සිටියදී පසුගියදා (06) මියගොස් ඇත. මියගිය අයිරාංගනී මහත්මියගේ දේහය පෙරේදා (17) ඩුබායි සිට මෙරටට රැගෙන ආ අතර එදින පස්වරුවේ ඇගේ දේහය හල්ලොලුවේ අංක 186/බී/01 දරන නිවෙස වෙත ගෙන ගොස් තිබිණි.
ඊයේ (18) පෙරවරුවේ අප ඇගේ දේහය තැන්පත් කර තිබුණු නිවෙස වෙත ගිය අවස්ථාවේ හැඞු කඳුළින් යුතුව අප පිළිගත්තේ ඇගේ දියණියක වන නිමාලිය.තම මව වසර 17ක කාලයක් ඩුබායි සිට තම පවුල ජීවත් කරවන්න ගත් උත්සාහය ගැන ඇය මෙසේ පැවසුවාය.
‘අම්මා රට යන්න තීරණය කළේ තාත්තා එක්තැන් වූ හින්දයි. තාත්තා මීගමුවේ. තාත්තා අනතුරකට ලක්වුණා. ඊට පස්සේ අපට සලකන්න ඕන නිසා අම්මා රට ගියා.
රට ගියදා පටන් මියයන තුරුම අපව බලා ගත්තා. මටත් අක්කා නිරෝෂණීටත්,නංගී ප්රදීපාටත් අම්මා සල්ලි එව්වා. අපි තාත්තාව බලා ගන්නවා.අම්මා හැමදාම අපට කතා කරනවා. මීගමුවේ ඉන්න අපේ ලොකු මාමා අසනීප වෙලා ඉන්නේ.එයා බලන්න යන්න කියා 4 වැනිදා අපට සල්ලි එවලා තිබුණා.අම්මට දියවැඩියාව තිබුණා. ඒවට බෙහෙත් ගත්තා. පසුගිය 5 වැනිදා අම්මට උණ හැදිලා. හුස්ම ගන්නත් අමාරුයි කියා අම්මා ඉන්න තැන ඉන්න මේරි ඇන්ටි කතා කර කිව්වා. එදාම අම්මා රෝහල්ගත කර තිබුණා. 6 වැනිදා අම්මා මියගියා කියා මේරි ඇන්ටි කීවා. අම්මාගේ දේහය අපට ගෙන්වා ගන්න ඩුබායිවල ඉන්න අපේ ඥාති කෙනෙක් උදව් කළා.
ලක්ෂ අටක විතර මුදලක් අපට ගෙවන්න වුණා. අම්මාගේ දේහය ගෙන්වා ගන්න එයා අපට එවල තිබුණු මුදලුත් වැය කෙරුවා. අම්මට මෙහෙම දෙයක් වෙයි කියා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.’
මියගිය අයිරාංගනීගේ සැමියාගේ ගම මීගමුව කට්ටුව. ඔහු දක්ෂ ධීවර කාර්මිකයෙකි. සිය බිරිය හා දරුවන් තිදෙනා පණ මෙන් රැක බලා ගත්තේ ධීවර රැකියාවෙනි. නමුත් අද වන විට කර කියා ගන්න දෙයක් නැතිව අසරණව සිටින ඔහු තම බිරියගේ වියෝව ගැන මෙසේ පැවසීය.
‘මං පාපැදියකින් යන විට අධික වේගයෙන් ආව ලොරියක් පාපැදියේ ගැටුණා. මට මතක එච්චරයි. පස්සේ කොළඹ මහ රෝහලේ අවුරුද්දක් විතර නතර වෙලා හිටියා. දැන් මට කල්පනාව මදි. අතපය වාරු නැහැ. ඇවිද ගන්න බැහැ. මට වන්දියක්වත් ලැබුණේ නෑ. මම එකතැන් වුණාට පස්සේ බිරිය නිතරම කල්පනා කරමින් හිටියේ. දරුවො තුන්දෙනා එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා. පස්සේ එයා රට යන්න තීරණය කළා. මාවත් මගේ දරුවොත් ජීවත් කෙරුවේ මගේ නෝනා. එයාට සිදු වුණු දේ ගැන ඇති වෙන දුක වේදනාව කියන්න බැරි තරම්.’
අයිරාංගනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ හල්ලොලුව, තෝරගොල්ල පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.
(එස්.ජී.විජේරත්න)

Comments
Post a Comment
Your comment will be visible after approval