train-strike-call-off

දුම්රිය රියැදුරන් 68 දෙනකුට උසස්වීම් ලබා දීමත් සමග ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියරිස් දුම්රිය රියැදුරෝ දින හතරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (10) පස්වරුවේ අත්හැර දැමූහ.ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය න්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය රියැදුරන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලුවට විසඳුම් ලැබීම නිසා වැඩ වර්ජනය අතහැරි බවත්

ඒ අනුව ඊයේ පස්වරුවේ සිට නැවත සේවයට වාර්තා කළ බවත් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.දෙවැනි ශ්‍රේණියේ උසස්වීම් ලැබීමට සුදුසුකම් ඇති සියලුම දෙනාට ඊයේ දිනයේම උසස්වීම් ලිඛිතව දෙන ලෙස එහිදී අමාත්‍යවරයා දුම්රිය බලධාරීන්ට දැනුම් දුන් බව කී එම ප්‍රකාශකයා උසස්වීම් සඳහා වන වැටුප් ඛේතය නිර්මාණය කිරීම සඳහා ලබන සතියේ අමාත්‍යවරයා සමග නැවත සාකච්ඡා කිරීමට ද නියමිත බව ද සඳහන් කළේය.

එම සාකච්ඡාව පැවැත්වෙන මොහොත වන විටත් තෙවැනි ශ්‍රේණියේ බලවේග කට්ටල දුම්රිය රියදුරන් 57 කට උසස්වීම් ලිපි යොමුකර තිබූ බවත් ඉතිරි රියැදුරන් 11 කට පමණක් ලිපි යොමු කිරීමට ඉතිරිව තිබූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.උසස්වීම් ලැබීමට නියමිතව සිටි රියැදුරන් 8 දෙනකු විභාගය අසමත්ව සහ දෙදෙනකුට එරෙහිව

විනය පරීක්‍ෂණයක් ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සෙසු සියලුම දෙනාගේ ඉල්ලීම් මේ වන විට ඉටු කර ඇති බව ද සඳහන් කළේය.ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කර දින හතරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළේය.මෙම වර්ජනය හේතුවෙන් ඊයේ පස්වරුව දක්වා දුම්රිය ගමන් වාර 200 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
යොහාන් භාසුර