
තම නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි 14 හැවිරිදි පිරිමි දරුවකු සාරියේ පැටලී බෙල්ල සිරවීමෙන් ජීවිතයෙන් සමුගත් ශෝචනීය පුවතක් වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීතොටමුල්ල, පන්සල්හේනේ පදිංචිව සිටි සයුරංග සඳමිණ විරක්කොඩි නමැති 14 හැවිරිදි දරුවෙකි. ඔහු කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. සයුරංගගේ මව කොළොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයේ ගුරුවරියක වන දේවිකා නිලන්ති පෙරේරාය. ඇය සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කර සිටියාය.
“සිද්ධිය වූ වෙලාවේ මියගිය පුතයි මමයි විතරයි නිවසේ හිටියේ. ලොකු පුතා පාසල් ගිහින් ඇවිත් හිටියේ නැහැ. මහත්තයාත් වැඩට ගිහිල්ලා හිටියේ. සයුරංග පුතා පාසල් ඇරිලා ඇවිල්ලා සාලයේ සෙල්ලම් කරමින් හිටියා. එයා සාරිවලින් සෙල්ලම් ගෙයක් හදමින් හිටියේ. වෙනදටත් තනියෙන් සෙල්ලම් කරනවා. මම පාසලේ ප්‍රශ්න පත්‍ර වගයක් බලමින් හිටියේ. ඒ වෙලාවේ මම කුස්සියට ගිහින් නැවත එනකොට පුතා සාරියක පැටලිලා බෙල්ල හිරවෙලා හිටියා.
ඉක්මනින් රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මිය ගිහින් හිටියේ.”
ජනාධිපති විදුහලේත් ඕල්කට් විදුහලේත් දහම් පාසලේත් ඉගෙනුම ලබන සයුරංගගේ මිතුරු මිතුරියන්, ගුරුවරුන් මවුපියන් රැසක්ම අවසන් වතාවටත් සයුරංගව දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි අතර බොහෝ දෙනෙක් සිද්ධියෙන් කම්පාවට පත්ව හැඬූ කඳුළින් සිටිනු දැකගත හැකි විය.
දේහය පිළිබඳව භුමදාන කටයුතු ඊයේ (09) සවස කොළොන්නාව පොදු සුසාන භුමියේදි සිදු කෙරිණි.
(මුල්ලේරියාව සිරිසේන ගමගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval