
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ජංගම දුරකතන තොගයක් සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු පෙර්දා (01) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් 06/01 දින ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් අතර සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 27 හැවිරිදි කාන්තාවක විසින් කුඩා දරුවකු ද වඩාගෙන කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට තැත් කිරීමේ දී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 40,000 ක් පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මීට අමතරව 23 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තම ගමන් මලු තුළ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකතන 77ක් සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කාංචන ප්‍රදීප් මහතා විසින් පැවැත්වූ අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියෝග කළ අතර, මෙම දුම්වැටි මෙරටට ගෙන ආ ගුවන් මගීන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.
එසේම නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබූ ජංගම දුරකතන තොගය ද රාජසන්තක කිරීමට නියෝග කළ අතර, ඒවා රැගෙන ආ ගුවන් මගී කාන්තාවට අවවාද කර නිදහස් කිරීමට ද පියවර ගෙන තිබුණි.
(කටුනායක ටී.කේ.ජී.කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval