custom-vehicles-nabbed

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගී වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.එලෙස ආනනය කළ වාහන අතුරින් වාහන 168ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති අතර එම වාහන හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයටද දැනුම් දී තිබිණි



විමර්ශනයේදී හෙළි වූ තොරතුරුවලට අනුව මෙම වාහන 6 සිය බාරයට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.

එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත්තේ රුපියල් කෝටි 4 සිට 6 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැකෲසර්, අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර් රථ ඇතුළු වාහන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

2015 සිට 2022 දක්වා කාලය තුළ අධි සුඛෝපභෝගී වාහන 400ක් පමණ හොර රහසේ මෙරටට ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරුවලට අනුව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු පදනම් කර ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මෝටර් රථ 112ක් පැවරීම හෝ අන්සතු කිරීම හෝ වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.

හොර රහසේ මෙරටට ආනයනය කළ අති සුඛෝපභෝගී රථ 400ක් පමණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බවට

තොරතුරු හෙළි වූ අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුව අදාළ අධි සුඛෝපභෝගී මෝටර් රථ වෙනත් පුද්ගලයන්ට පැවරීම හෝ අන්සතු කිරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථවල වත්මන් ලියාපදිංචි අයිතිකරුවන්ගේ නම් සහ වටිනාකම් සඳහන් කරමින් දළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව එම වාහන අල්ලස් කොමිසමට බාරදෙන ලෙස ඒවායේ හිමිකරුවන්ට අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබිණි. අධිකරණයෙන් එලෙස නියෝග නිකුත් කර තිබියදී මෙම සුඛෝපභෝගී මෝටර් රථ 06 අල්ලස් කොමිසමේ බාරයට ගත් බව සඳහන් කළ නිලධාරියා එම වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ආරම්භ කළ බව ද පැවැසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය