
මඩකලපුව - පුන්නයිචෝලෙයි ප්‍රදේශයේ නිවසකින් නිවැසියන් පිටව යන අයුරු රහසිගතව නිරීක්ෂණය කර යතුර හංගන ස්ථානය හඳුනාගෙන නිවසට ඇතුළුවී විශාල මුදලක් සහ ස්වර්ණාභරණ සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.
ඊයේ (6) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ පුන්නයිචෝලෙයි පතිරකාලි අම්මාන් කෝවිල පිටුපස නිවසකයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙසේය.
මේ වන විට පුන්නයිචෝලෙයි පතිරකාලිඅම්මන් කෝවිලේ පුද පූජා පැවැත්වෙන අතර එම නිවසේ සිටි අය නිවසට අගුළු දමා යතුර නිවස අසල සඟවා කෝවිලේ පූජාව සඳහා පිටව ගොස් තිබේ.
නැවත නිවසට ආ පසුව නිදන කාමරයේ අල්මාරිය කැඩි ඇති අයුරුත් එයින් රුපියල් 17 ලක්ෂ 50 දහසක මුදලක් සහ රන් පවුම් හතරහමාරක් කොල්ලකා ඇති අයුරුත් හඳුනාගෙන ඇත.
නිවසට සීසීටීවී ඇති මුත් එහි හාර්ඩ් තැටියද කොල්ලකා සොරුන් පළාගොස් ඇත. අහිමිවූ දේපළ වටිනාකම ලක්ෂ 25 ක් පමණ වෙතැයි පැවසේ.
නිවසේ කෙටි තාප්පයකින් පැන සඟවා තිබූ යතුර රැගෙන නිවසට ඇතුළුවීමෙන් මෙම කොල්ලය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිල සුනඛයන් යොදා සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත.
මඩකලපුව දිසා අපරාධ අංශයේ පොලිස් නිලධාරි රවිචන්ද්‍රන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Comments
Post a Comment
Your comment will be visible after approval