weligama-wife-murderd-husband-arrested

තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු වසර 12ක කාලයක් පොලිසිය හා අධිකරණය මග හරිමින් සැඟවී වැලිගම හේන්වල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි.

මීටියාගොඩ පොලිස් වසමේ පදිංචි ඔහු 2012 වසරේ මැයි මස 15වැනි දිනූ හෝ ඊට ආසන්න දිනයකදී තම 37 හැවිරිදි බිරිඳව ඝාතනය කර තිබුණි. ඒ වන විට ඔහු කුරුඳු තැළීම රැකියාව ලෙස කරමින් සිටියේය. සති කිහිපයකට වරක් නිවසට යන්නෙකු විය. තම බිරිඳට ලැබුණු දරුවා බැලීමට රෝහලට ගිය අවස්ථාවේ දරුවා නොමැති බව දැක ඇති වූ සැකයක් හේතුවෙන් බිරිඳට අනියම් ඇසුරක් ඇතැයි කියමින් ඇය සමග නිතර නිවසේ දී ආරවුල් ඇති කර ගෙන තිබූ බව පැවසිණි.


පසුව බිරියව ඝාතනය කර තිබුණි.
බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට මීටියාගොඩ පොලිසිය ඔහු සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කර  වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇති නමුත් පසුව ඇප ලබා තිබේ. එම අවස්ථාවේ ඔහු පදිංචි නිවසින් පළාගොස් ඇති අතර මිරිස්ස, හේන්වල විහාරස්ථානයකට ගොස් සැඟවී ජීවිතයක් ගත කර තිබේ. ඒ අතරතුරදී මහාධිකරණයේ විභාග වන නඩුවේ දී තමන් වැරදිකරු විය හැකි බව සිතා ඔහු සැඟවී ඇති බව පොලීසිය කියයි.

විත්තිකරු නොමැතිව බලපිටිය මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩුවේ දී 2019 අගෝස්තු මස 01වැනි දින ඔහුට මරණ දඬුවම නියම කර තිබෙන අතර,

දඬුවම ක්‍රියාත්මක කිරීමට ඔහු සොයා ගැනීම අපහසු වී තිබේ. ඒ පිළිබඳව මාතර අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද කල්දේරා මහතාට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ විහාරස්ථානය වෙත යන විට සැකකාර පුද්ගලයා පිටුපස දොරෙන් පැන පලා ගොස් තිබේ.

පොලීසිය කිලෝ මීටරයක පමණ දුරක් ඔහු පසු පස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහු වැඩිදුර පක්ෂණ සඳහා කොටවිල පොලීසිය වෙත භාර දී තිබෙන අතර, මාතර මහේස්ත්‍රාත් අධිකරණය හරහා ඔහු බලපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)