raththota-lightning-deaths

මාතලේ රත්තොට, දන්කන්ද, වැල්ගාගයායේ නිවෙසකට පතිත වූ අකුණු සැරකින් එම නිවෙසේ සිටි එකම පවුලේ ස‌හෝදරයෙක් සහ සහෝදරියක මිය ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (28) රාත්‍රී 7.00 පමණය.
වයස අවුරුදු 23ක් වන ප්‍රබෝධ ගුණරත්න සහ වයස අවුරුදු 12ක් වන ඔෂධී ගුණරත්න යන අය මෙසේ මියගොස් ඇත. 12 හැවිරිදි සහෝදරිය පාසල් සිසු වියකි. ඇය රත්තොට දන්කන්ද විද්‍යාලයේ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය.


මෙසේ අකුණු සැරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ වැඩිමහල් පුතා සහ බාල දියණිය බව රත්තොට පොලිසිය සඳහන් කළේය. අකුණු සැර නිවෙසට පතිත වන විට මිය ගිය සහෝදරයා සහෝදරිය හැරුණු කොට පවුලේ
මද්දුමියා වන තවත් සහෝදරයකුත් පියාත් සිට ඇත. ඒ අයට අකුණු සැරෙන් හානියක් සිදුව නැත.
මෙම අකුණු සැර නිවෙසට පතිත වී ඇත්තේ ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් සමගිනි. මෙම අවස්ථාවේ අවට නිවාස රැසක විදුලි මීටර් හා විදුම් බල්බ මෙන්ම රූපවාහිනි ඇතුළු විදුලි උපකරණ වලට මෙම අකුණු සැරෙන් හානි වී ඇති බවද ප්‍රදේශවාසීහු සඳ හන් කළහ.
අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දෙදෙනා රන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත.
“රාත්‍රී කෑම සාදා පොඩි දුවට වා අතික් පුතාලා දෙන්නටත් කන්න කියලා පොඩි දුවත් සමඟ ගෙදර සාලයට ගියා, ලොකු පුතා දොර වහන්න ගියා විතරයි. එකපාරම ගේ ඇතුළට ගිනි බෝලයක් වගේ ආවා. පොඩි දුවයි ලොකු පුතයි එකවරම  ඇද වැටුනා..“ යැයි මෙම අනතුරින් මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන එන්.ඒ. ගුණරත්න මහතා පැවසිය.