poke-prison-borella-death

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පිටතින් ලබාගත් ආහාරයක් අනුභව කිරීමෙන් පසු ආහාර විසවීමකට ලක්ව ඇති අතර 15 දෙනෙකු පමණ ලබාගත් බව කියන ඌරුමස් ව්‍යංජනයක් සහිත බත් පාර්සලයක් මෙම විසවීමට හේතුවී ඇතැයි කියැවේ.
මෙම ආහාර ලබාගැනීමෙන් පසු රැඳවියන් තිදෙනෙකු රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබෙයි.

පසුව අනෙක් රැඳවියා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.
 මියගොස් ඇත්තේ බොරැල්ල සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි.
මෙම ඌරුමස් ලබාගත් තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගතවූ පිරිසකි.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී එක් සිරකරුවකුගේ නිවසින් ඌරු මස් සමඟ බත් පාර්සලයක් ලැබී 15 දෙනෙකු සමඟ එය අනුභව කිරීමෙන් පසු මෙම තත්වය උද්ගතවී ඇත.
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක පැවසුවේ මෙය ඌරු මස් ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාත්මිකතාවක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.


මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
ආරංචි මාර්ග වලට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) විසින් ඔවුන්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර ඇති අතරම සිරුරු ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) වැඩිදුර පරීක්‍ෂණයට ලක් කිරීමට නියමිතය.