nuwara-eliya-stroberry

නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන මෙරට ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස් දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ , ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සුබ මොහොතින් සිටුවීම පෙරේදා (30දා) සිදු කෙරිණි.නුවරඑළිය ගොවිප්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බී.එච්.ඒ.දිල්හානි මහත්මිය නුවරඑළිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ජයන්ත බාලසූරිය හා නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මාන සුහුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හා ප්‍රධාන වගා පුහුණුකරු සමන් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මාන සුහුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හා ප්‍රධාන වගා පුහුණුකරු සමන් රත්නායක මහතා මෙසේ පැවසීය.

"මෙම ව්‍යාපෘතිය නුවරඑළිය ඉතිහාසය තුළ ගොවීන්ට ලැබුණු අනගිම ස්වර්ණමය අවස්ථාවක්. මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ලබාදීම හා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය නංවාලමින් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සුහුරු කෘෂි ගම්මාන වැඩසටහන යටතේ ස්ට්‍රෝබෙරි වගාවට හරිතාගාර ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය ප්‍රදේශයේ ස්ට්‍රෝබෙ වගා කිරීමට ගොවින සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුමකට අනුව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ අනුව නුවරඑළිය හා අවට ප්‍රදේශයන්ගෙන් ගොවීන් 40දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන්ට නවීන තාක්ෂණය යොදා ගනිමින් එක් ගොවියකුට වර්ග අඩි 1000ක හරිතාගාරය බැගින් හරිතාගාර වර්ග අඩි 40,000ක ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.



ස්ට්‍රෝබෙරි වගාව ගුණාත්මකභාවයෙන් සිදුකර විදේශ වෙළඳපොළ ආක්‍රමණය කිරීම වෙනුවෙන් සකසන සැලසුමක් වශයෙන් මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට අනුකූලව ගුණාත්මක බවින් ඉහළ තත්ත්වයකින් හා ඉස්තරම් අමුද්‍රව්‍ය භාවිත කරමින් වගකීමක් සහිතව නිර්මාණය කරනු ලැබූ සියලුම හරිතාගාර ඉදිකොට ඇති අතර, එම හරිතාගාරයන්හි වහලයට යොදාගෙන ඇති යූ.වී පොලිතීනය හා ස්ට්‍රෝබෙරි පැළ සඳහා ජලය හා දියර පොහොර සැපයීමේ බිංදු ජල සම්පාදන පද්ධතිය ඊශ්‍රායලයෙන්ද වට ආවරණය කිරීමට යොදාගෙන ඇති කෘමි ප්‍රතිරෝධී දැල තායිලන්තයෙන්ද ආනයනය කර තිබීම විශේෂත්වයක්.

එසේම ගොවීන්ට හරිතාගාර තුළ රෝපණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණයට උචිත ෆස්ට්වල් ප්‍රභේදයට අයත් අනර්ඝ තත්ත්වයේ ස්ට්‍රෝබෙරි පැළ ඊජිප්තුවෙන් ආනයනය කර තිබෙනවා. වර්තමානයේ ස්ටෝබරි සඳහා දේශීය හා විදේශීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතින අතර එයට සිදුකරන දායකත්වයක් වශයෙන් ගොවිප්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ විසින් මෙසේ පළමු පියවර තබනවා. ගොවීන් අතර බෙදා දුන් ස්ට්‍රෝබෙරි පැළ තොගයේ අපේක්ෂිත ඵලදාව මසකට කිලෝග්‍රෑම් 1600-1800 ක් වනවා.

එහි පළමු අස්වැන්න පැළ සිටවූ දින සති 8-9 අතර කාලයේදී අපේක්ෂා කරනු ලබන අතර ,මව් ශාඛාවෙන් හටගන්නා දාවක පැළ වර්ධනය කර ගැනීමෙන් මෙම ස්ට්‍රෝබෙරි වගාව වසර 3ක කාලයකට දිගු කාලීන ලෙස පවත්වාගෙන යා හැකියි.වර්තමානයේ සාමාන්‍ය වෙළෙද පොළ වටිනාකමට අනුව පළමු ශ්‍රේණියේ ස්ට්‍රෝබෙරි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5000-6000ක පමණ වන අතර ඒ අනුව මෙම වැඩසටහන තුළින් ගොවීන් 40දෙනාට මාසිකව රුපියල් මිලියන 8-10 ක ආදායමක් ලබා ගෙන රටේ ආර්ථික වර්ධනයට දායක කරවීමට අපේක්ෂා කරනවා.”
රංජිත් රාජපක්ෂ
Email ThisBlogThis!Share to TwitterShare to Facebook