nimal-siripala-sri-lankan

ලෝකයේ කිසිදු ගුවන් සේවයක් ලාභ නොලබන බවත්, එය කෝවිඩ් 19 අර්බුදයෙන් පසුවත් ඊට පෙරත් ගුවන් සේවයට ආවේණික තත්ත්වයක් වූ බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ(08දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසර 10ක කාලය තුළ වැඩිම බඳවාගැනීම් තියෙන්නේ පසුගිය වර්ෂයේ. ඒක හත්සිය ගණනක් වෙනවා. මේ තරම් පාඩු ලබන ආයතනයකට තවත් හත්සිය ගණනක් බඳවා ගන්නකොට නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානයට යොමු කරනවා මේක එතුමා දැනගෙන වෙනවාද,

නොදැත වෙනවාද දන්නේ නෑ. මේකෙන් මේ බර තවදුරටත් වැඩි වෙනවා.

අපි කණගාටු වෙන්න ඕනෑ මේ රටේ සෑම පවුලක්ම මේ ෆ්ලයිට් එකක් දැකලවත්, නැගලවත් නැති අහිංසක මිනිස්සු රුපියල් 107,000ක් ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා. මේ විදියෙ පාඩුවක් විදින මේ ආයතනයට ඔබේ ආණ්ඩුව මේ වන විට අරන් තියෙන උත්තරය තමයි මේක ප්‍රතිව්‍යුහගත කිරීම. 2008දී ලාභ ලබපු එමිරේට්ස් ආයතනයේ තිබුණු මේ ආයතනය පවරා ගැනීම හරහා ඒ වුණු ජාතික වැරුද්ද නේද අද මේ තත්ත්වයට මුහුණ පාන්න වුණේ?

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - සම්පූර්ණ විස්තරය ඉදිරිපත් කළා. කිසිම ආණ්ඩුවක් යටතේ ඔබතුමාලගේ ආණ්ඩුවත්, අපේ ආණ්ඩුවත් හරහා ගුවන් යානා ගුවන් ගතවෙනවා. පාඩු අඩුවෙන්නේ නැති අර්බුද ගණනාවකට අපි මුහුණ දුන්නා.

ඔබතුමා චෝදනාව කරන්නේ වෙන දෙයක්. එමිරේට්ස් ප්‍රශ්නය ගැන අහන්න ඕනැ නම් කෙළින්ම අහන්න තිබුණා.

වරාය, නාවිත හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා - එතුමා කිව්වා 2023 වසරේ වැඩිම බඳවා ගැනීම් කරලා තියෙනවා කියලා. ඔව්. 791 දෙනෙක් බඳවාගෙන තිබෙනවා.හේතුව මොකක්ද? සේවකයෝ 474ක් ඉල්ලා අස්වෙලා ගියා. ඔබතුමා කියන්නේ ඉල්ලා අස්වෙලා  ගියාම අපි බඳවා ගැනීම වැරැද්දක්ද? ඔබතුමාගේ තර්කය වැරදියි. අතිත් එක තමයි කුඩා රටක කුඩා ගුවත් සේවාවක් ගෙනයාමේදී එයට ආවේණික වූ ප්‍රශ්න රාශියක් තිබෙනවා.

අපිට ගුවන් යානා මිලදී ගන්න සල්ලි නෑ, අපි ගන්නේ කුලී බදු පදනම මත, ඒ නිසා එක ගුවත් යානයක්වත් අපිට අයිති නෑනේ. ඒ ලීස් එක ගෙව්වට පස්සේ අපිට යමක් ඉතිරි වෙන්නේ නෑ, අපේ ඇති වුණු වෘත්තීය සමිති ප්‍රශ්න, ඒවත් මේකට බලපෑවා. ඒ නිසා තමයි ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙන්නේ.ලෝකයේ ඔබතුමා හිතන්න එපා කිසිදු ගුවන් සේවයක් ඔබතුමා කියන විදියට ලාභ ලබා ගෙන නැහැ. විශේෂයෙන්ම කෝවිඩ් අර්බුදයෙන් පස්සේ. ඊට කලිනුත් ඒක ගුවන් සේවයට ආවේනික තත්ත්වයක් කියලා මම කියන්න ඕනෑ.

දිනේෂ් සමරකෝන්