nilanthi-dias-speaks

ඇය මෙරට රිදී තිරය සතු වූ බෝනික්කියයි. සුන්දර රූ සපුවෙන්  මෙන්ම, අති දක්ෂ නර්තන හැකියාවෙන් මෙරට සිනමාවට නැවුම් එළියක් ලබා දුන් ඇය, වසර විස්සකට වැඩි කාලයක් පුරාවට තම ජනප්‍රියත්වය එක සේ රඳා පවත්වාගැනීමට හැකි වූ තැනැත්තියක්. විවාහයත් සමඟ දියණියගේ උපත හේතුවෙන් කලක් එතරම් පෙනෙන්නට නොසිටි ඇය මේ දිනවල ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය සමඟින් එක් වී සිටිනවා. නමින් නිලන්ති ඩයස් වූ කිසිදා වයසට නොයන ඒ සුරූපිණිය සමඟින් හදගැස්ම කළ සංවාදයයි මේ. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි නේද?

ඔව්… මේ දවස්වල අවුරුදු ප්‍රෝග්‍රෑම් ගොඩාක් තිබුණා. ඒවායෙහි නර්තන අංගයන්වල නර්තනයේ යෙදුණා. ඒ දේවල් එක්ක ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. ඊට අමතර මගේ නාට්‍යයකුත් විකාශය වෙනවා. ඒකේ ශූටින් එහෙමත් තිබෙනවා. ඒ දේවල් එක්ක සීසන් එක නිසා නර්තන අංගයන් කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒවටත් සම්බන්ධ වුණා. ඇත්තටම වෙන අවුරුදුවලටත් වැඩිය  මේ අවුරුද්ද ගොඩාක් කාර්යබහුල වුණා. දැන් තමයි පොඩි රෙස්ට් එකක් ගන්නේ.



කාලයකට පසුවයි ඔබ නිර්මාණයකට සම්බන්ධ වුණේ, කොහොමද ප්‍රාර්ථනා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ දෙරණ නාළිකාවේ. එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයක්. ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මුල් අවධියේ ඉඳලා එක දිගටම මට චිත්‍රපට තමයි ලැබුණේ. ඒත් මට මේ නාට්‍යට ආරාධනා ලැබුණම හිතුණා ගොඩ කාලයකින් ප්‍රේක්ෂකයා හමුවට යන නිසා සම්බන්ධ වෙනවා කියලා. ඇත්තටම හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඇතැම් අය කියනවා ඇයි තව ටෙලි නාට්‍ය කරන්නේ නැත්තේ කියලා. තවත් පිරිසක් අපරාදේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ කියනවා. ඉතින් ඔය දෙපැත්තටම ප්‍රතිචාර තිබෙනවා. නමුත් මට හිතෙනවා සම්බන්ධ වුණු එක හොඳයි කියලා. මොකද ප්‍රේක්ෂකයා මොන විධියකින් හෝ ප්‍රතිචාර දක්වන්නේ අපිව දැක්කම. අනිත් එක අපිව දකින විට තමයි ප්‍රේක්ෂයාට අපිව මතක තිබෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙන විට තවත් නිර්මාණවලට  සම්බන්ධ වෙන්න ආස හිතෙනවා.

ඔබ නිතරම පේන්න නොසිටියත් ප්‍රේක්ෂක ආදරයේ කිසි අඩුවක් නැහැ, ඒ ගැනත් කතා කරමු?

ඒ දවස්වල මම සම්බන්ධ වුණු චිත්‍රපට තවමත් ගොඩක් වෙලාවට රූපවාහිනි නාලිකාවල විකාශය වෙනවා. ඒ චිත්‍රපට ප්‍රේක්ෂකයා තවමත් නරඹනවා. ඒ නිසාම ඔවුන්ගේ මතකයේ තවමත් රැඳිලා ඉන්නවා. මෑතකදි මට චිත්‍රපටවලට ලොකුවටම දායක වෙන්න බැරි වුණත්, තාමත් මිනිසුන්ගේ ආදරය ලැබෙනවා. ඔවුන්ගේ මතකයේ තාමත් සිටිනවා. හමුවුණු වෙලාවට මගේ නර්තනය, රංගනය ගැන ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වනවා.



පසුගිය කාලයේ එතරම් පේන්න නොසිටියේ තෝරාගැනීම් කරලා නිර්මාණවලට දායක වෙන නිසාද?

ඇත්තටම විවාහ වුණාට පසුව දුවගේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. නමුත් දැන් ඇය ටිකක් ලොකුයි. ඒ නිසා මට නැවතත් නිර්මාණවලට දායකත්වය දෙන්න පුළුවන්. ඇත්තටම ඒ කාලයේ වැඩිය නිර්මාණවලට සම්බන්ධ වුණේ නැත්තේ දුවගේ වැඩ සමඟ කළමනාකරණය කරගන්න අපහසු නිසා. නමුත් දැන් හිතෙනවා දුව ටිකක් ලොකු නිසා නිර්මාණවලට සම්බන්ධ වෙන්න වෙලාව තිබෙනවා කියලා. ඉදිරියේදී ලැබෙන හොඳ දේවල් භාරගෙන කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබ අති දක්ෂ නර්තන ශිල්පිනියක්, නර්තන පාසලක් එහෙම ආරම්භ කරන්න අදහසක් නැද්ද?

ගොඩාක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. දරුවෝ සහ අම්මලා දෙපිරිසම මගෙන් ඒක අහනවා. මෑතකදි නර්තන ක්ෂේත්‍රයට එක් වුණු අයත් ඇකඩමි දාලා දරුවන්ට උගන්වනවා, මෙතරම් කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලත් ඇයි ඒක නොකරන්නේ කියලා අහනවා. එහෙම වැඩක් ආරම්භ කරන්න කැමැත්තක් තිබෙනවා. නමුත් එහෙම වැඩක් පටන්ගන්නවා නම් ඒක බොහොම වගකීමෙන් කරන්න ඕනෑ. හරියටම පුළුවන් කමක් ඇතිවුණු දවසට, එහෙම දෙයක් ආරම්භ කරන්න අදහසක් ඇති වුණොත් අනිවාර්යයෙන් ඒ දේ කරනවා.

අතීතයේදි සිනමාවට තිබුණු ප්‍රේක්ෂක අවධානය අද විශාල වශයෙන් අඩුවෙලා, සිනමා නිළියක් විධියට ඔබ ඒ කාරණය දකින්නේ කොහොමද?

එදා මිනිසුන්ට විනෝද වෙන්න එතරම් දේවල් තිබුණේ නැහැ. එදා සිනමාව ප්‍රධාන විනෝදාස්වාද මාර්ගයක්. ඒ නිසාම ඔවුන් ගොඩාක් චිත්‍රපට බලන්න යොමු වෙලා සිටියා. නමුත් අද වෙද්දි මිනිසුන්ට විනෝද වෙන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. අනිත් කාරණය  ඒ දවස්වල අපිට තිබුණේ සිංහල චිත්‍රපට බැලීමේ හැකියාව පමණයි. නමුත් අද ඕනෑම විදෙස් චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව තිබෙනවා. චිත්‍රපට ශාලාවලත් සිංහල චිත්‍රපටවලට වඩා තිරගත වෙන්නේ විදෙස් චිත්‍රපට. ඉතින් ප්‍රේක්ෂකය වැඩි වශයෙන්  ඒවා නරඹන්නත් නැඹුරු වෙලා ඉන්නවා. ඒකත් එක්ක අපේ සිංහල චිත්‍රපට බලන එක අඩුවෙලා තිබෙනවා. නමුත් හොඳ නිර්මාණයක් ආවොත් අපේ ජනතාව ඒවා වැලඳගන්නවා.



ඔබේ ආදරණීය දියණියත් දවසක අම්මාගේ අඩි පාරේ යයිද?

දැන් එයාට අවුරුදු දහයයි. ඒත් එයා නර්තනයට එතරම් කැමැති නැහැ. නමුත් ඇඟ ඇතුළේ නර්තනයේ රිදම් එක, ඒ ලාලිත්‍ය තිබෙනවා. දැනට නම් ටිකක් ලැජ්ජයි. මමත් නර්තන ශිල්පිනියක් නිසා ගොඩක් අය හිතනවා දුවත් ඒකට කැමති ඇති කියලා. නමුත් ඇය ඒකට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසාම අපි බල කරන්නෙත් නැහැ. මොකද දරුවෝ ආස දේ තමයි ඔවුන් කළ යුතු. මම නර්තන ශිල්පිනියක් කියලා මගේ දේ බලෙන් ඇයට දෙන්න  බැහැ.

ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ තිබෙනවාද?

ඔව්, චිත්‍රපට දෙකක් පමණ තිබෙනවා. ඒ වගේම තව චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ දේවල් තමයි ඉදිරියේදී එන්න තිබෙන්නේ.

අක්ෂි මාපා වීරසිංහ