narendra-modi-horoscope

මේ දිනවල ඉන්දියානු මැතිවරණයක් පැවැත්වෙනවා. ඉන් නියත ජයක් නරේන්ද්‍ර මෝදිට ලැබෙනු ඇත. ඔහුගේ කේන්ද්‍ර සටහන මගින් බලවත්කම විග්‍රහ කරන ලිපියක් පහත දැක්වේ.

වර්තමානය වන විටලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වන ජනප්‍රියම රාජ්‍ය නායකයකු වන්නේ නරේන්ද්‍ර මෝදියි. ඔහු දශකයකට වැඩි කාලයක් පුරා භාරතයේ මහ පුටුවේ රඳවා තැබුවේ ඔහු සතු අසාමාණ්‍ය ගුණ සමුදායන් සහ මහා පෞරුෂත්වයකින් හෙබිවීම නිසා ය. එසේම ඔහුගේ ග්‍රහ බලය පුදුම සහගතය.

ඔහුගේ ජන්ම පත්‍රය නිරීක්ෂණය කිරිමේදී පැහැදිලිවම පෙනෙන්නේ මේ විශේෂ පුද්ගලයා බිහි වන විට පැවැති ග්‍රහ බලය ඉතා බලවත් බවය.1950 සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වනගර් හි ටෙගෙයනා ග්‍රාමයේදී පෙ. ව. 11.00ට උපත ලද ඔහු වෘශ්චික ලග්න හිමියෙකි. අනුර නැකතේ උපත ලබා ඇත. උතුරු අක්ෂාංශ 230 27 හා නැගෙනහිර දේශාංශ 720 28 උපන් ස්ථානයට අදාළ පිහිටීම වන අතර එම අවස්ථාවේ ඔහුගේ උපන් කේන්ද්‍රය මෙසේය.

උප්පත්ති ලක්ෂණ අනුව බාරගත් වැඩක් අවසානයක් දක්වා කිරීමට හේ දක්ෂය. තම මතය අන් මතවලට වඩා ඉස්මතු කිරීමට ඕනෑම අවස්ථාවක ඔහුට හැකිය. ලග්නාධිපති කුජ ලග්නයේම ස්වක්‍ෂේත්‍ර බලයෙන් තැන්පත්ව රුචක' යෝගය උදාකර ඇති නිසා බලවත් නායකයකු බවට පත්ව ඇත.භාරතීය ජනතා පක්‍ෂයේ නායකත්වය ඔහුට ලැබුණේ ද මේ රුචක යෝගයේ බල මහිමයෙනි. රුචක යෝගය තිබෙන බොහෝ නායකයන් පක්ෂයේ නායකත්වයට කෙටි කලකින් පැමිණ රටේ නායකත්වයට පත් වේ.



කුජ හා චන්ද්‍රයා එකට පිහිටීම නිසා ඔහු තරමක කුකුළු කේන්තිකාරයෙක් ද වෙයි. නමුත් එය ස්වල්ප වේලාවකින් අවසන් ය. අනුන්ට උදව් කරයි. ලෙහෙසියෙන් රැවටීම්වලට හසු නොවේ. බුධ ඉතා උච්චව මෙන්ම ස්වක්‍ෂේත්‍රව 11 වැන්නෙහි පිහිටා තිබීම එයට හේතුවයි.

සෙනසුරු මහ දශාවෙන් උපන් ඔහු උපතේ සිට ජීවිතයේ අවුරුදු 12 ක් විවිධ කරදර බාධක වලට මුහුණ දෙන්නට ඇත.නමුත් අවුරුදු 12 න් පසුව අවුරුදු 17 ක් ගෙවී ගොස් ඔහුගේ බුධ මහ දශා බලය ඔහු නිවැරැදි මාවතකට ප්‍රවිෂ්ඨ කළේය. ඔහු අවුරුදු 18 දී ඉක්මන් විවාහයකට එළැඹෙන්නේ තමාගේ හොඳම ග්‍රහයාගේ මහ දශා සමයේදී සිකුරුගේ අන්තරය පවතිද්දීය.

රවි, කේතු, බුධ 11 වැන්නේ පිහිටීම නිසා සියුම් ඥානය ඔහුට ලැබේ. ව්‍යාපාරික කටයුතු වලින් ඉහළට ඔසවා තැබේ. ව්‍යාපාරික මිතුරන් ඔහුට බහුලව සිටින්නේ එම ග්‍රහ පිහිටීම නිසාය. එම ස්ථානයේ නිපුණ යෝගය සකසා ඇති නිසා මහා ඥානකාරක යෝගයක් ද වෙයි. චන්ද්‍ර මංගල යෝගය නිසා ද්‍රව්‍යාත්මකව ඉතා සාර්ථකත්වයට පත් වේ. ඒ නිසා තමන්ට අවශ්‍ය දෙය කෙසේ හෝ කරයි.එසේම ගජ කේසරි යෝගය නිසා ඉතා ඉහළ සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියයි. පර්වත යෝගය ඔහුට වාසනාව ගෙන දෙයි. කානල යෝගය නිසා ඕනෑම තරාතිරමක අයකුට නායකත්වය දී  කටයුතු කළ හැකිය. චීනයට පමණක් දෙවැනි වන මහා භාරතයේ අග්‍රාමාත්‍ය ධුරය ඔහුට පිරි නැමීමට ජනයා පෙළ ගැසෙන්නේ එබැවිනි.

සංඛ යෝගය නිසා ජනතාව ඔහුගේ වචනය විශ්වාස කරයි. පුෂ්කල යෝගය නිසා කුඩා පිරිසකට හෝ රජ වේ. එමෙන්ම රජකුට සමාන සැලකුම් ලබන අතර රජුන් අතර රජකු වේ. පෙර කල, රාජ හස්තීන් පවා දණ නැමුවේ ද මේ පුෂ්කල යෝගය තිබූ රජවරුන්ටය. මේ නිසා ඕනෑම දරදඬු රාජ්‍ය නායකයකු, ඔහුට අවනත කළ හැකිය. අනෙක් පාර්ශ්වයේ සතුරා කවුරු වුණත් ජයග්‍රහණය ඔහුටය. ඉන්දියාවේ විශාල ගාන්ධි පවුල් ගස, බිමට කපා හෙළුවේද මේ නිසා ය.

1970 ගුජරාටයේ මහ ඇමැති ධුරයේ සිට අග්‍රාමාත්‍ය ධුරය දෙවරක් දරන්නට කුජගේ රුචක යෝගය දැඩිව බලපා ඇත. ඔහුගේ පුද්ගලික ජිවිතයේදී කුජ, චන්ද්‍රයා 7 දැකීම නිසා විවාහ ජිවිතයේ පසු බැස්මක් ඇති වීමට හැකියාව තිබේ. අප්‍රකට විවාහ ජීවිතයකට ඔහු ඇතුළු වන්නේ එහි බලපෑම නිසාය.

ඔහුගේ නරක කාලය තව වසර පහකින් ඇරඹේ. යඋඔහුගේ දඩබ්බර ගතිය නිසා වෙන රටවල් සමඟ යම් යම් ගැටුම් ඇති කර ගනියි. යම් කුමන්ත්‍රණයක් ඇති වී ඔහුගේ පාක්‍ෂිකයන් ද ඔහුගෙන් ඈත් වේ. ඉන්දියාව ඉහළට ඔසවා තබා දිනෙක ඔහු විශ්‍රාම ගනියි. තවත් වසර 7 කින් පසුව සෙනසුරු ඒරාෂ්ඨකය නිසා අසනීප තත්ත්වයක් ඇති වී යම්කිසි පසුබෑමකට ලක් වේ. එවිට පිරිස ඔහුගෙන් වෙන්වී යා හැකිය. මේ මා හැඟි කේන්ද්‍රයේ පෙර බලයේ සිටි රජවරුන් මෙන් භාරත දේශය දිග්විජය කිරීමේ බලය ඔහු සතුය.
ජ්‍යොතිෂ්‍යවේදී - නාමල් ප්‍රේමවර්ධන
අකිලා නදීශානි බණ්ඩාර