may-day-color

 ලෝකයේ බොහෝ රටවල මෙන්ම මැයි 01 දා අප රටේද නිවාඩු දිනයකි. එදින කම්කරු දිනය සැමරීමේ උත්සව පැවැත්වුණ ද වැඩ කරන ජනතාවට අවශ්‍ය නම් නිවාඩු පාඩුව නිවසට වී විවේක ගත හැකි දවසකි. නමුත් ඒ අයුරින් විවේක ගැනීමට හෝ තමා වැනිම කම්කරු සහෝදරයන් සමඟ එක්ව මෙම ශ්‍රේෂ්ඨ දිනයේ ජයග්‍රහණය සමරන්නට හෝ ඔවුනට ඉඩකඩක් නොලැබේ.

එසේ වන්නේ තම තමන්ගේ මතු දේශපාලන බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම පිණිස ඔවුන්ව තම මැයි රැලිවලට දක්කා ගෙන යෑමට මෙරට දේශපාලන නායකයන් පුරුදුව සිටින බැවිනි. ඉක්බිති නිල්පාට, කොළ පාට හා රතුපාට ආදී වශයෙන් වර්ණ ගන්වන කම්කරුවන් ලවා තමන් වැනිම තවත් කම්කරුවන් පිරිසකට එරෙහිව සටන් පාඨ කියමින් තමන්වම තලාපෙළූ නායකයන්ගේ බලය තව දුරටත් තහවුරු කිරීම පිණිස ඔවුහු ඒ දවස මුළුල්ලේ පෙළපාලි යති.



මීට සියවස් දෙකකට කලින් චිකාගෝහි හේමාකර්ට් චතුරස්‍රයේදී හත් අට දෙනෙකු තම ජීවිත පරිත්‍යාග යෙන් සටන් කොට මේ අයිතිය ලබා දුන්නේ මේ ආකාරයට පාට කීපයකට බෙදී දේශපාලනඥයන්ට ආවඩන්නට නොවන බව කම්කරුවෝද අමතක කරති. කම්කරු දිනයේ තම නිවාඩුව පවා මෙම දේශපාලන නායකයන් විසින් කොල්ලකා ගත් බව ඔවුන්ට අමතකය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින උළෙල පවත්වන ලද්දේ 1927 දීය. ඒ කම්කරු නායක ඒ.ටී. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර වඩාත් උත්කර්ෂවත් රැලිය පවත්වන ලද්දේ 1933 දීය. කම්කරු නායක ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ම පවත්වන ලද ඒ වචනයේ පරිසජනාර්ථයෙන්ම කම්කරුවන්ගේ අභිමානය විදහා පාන්නක් විය.

කොළඹ ප්‍රයිස් පාක් පිටියේ සිට ගාලු මුව දොර දක්වා ගමන් ගත් එහි සියලු ගැහැනුන් සහ පිරිමින් රතු පැහැයෙන් සැරසී සිටියහ. බෙර වාදකයන්ගේ නාදයත් සමඟ ජාත්‍යන්තර කම්කරු ගීතය එක හඬින් ගායනා කරමින් ඇදී ගිය මේ පිරිස එකදු සටන් පාඨයක් හෝ නොකියා ගමන් කිරීම විශේෂත්වයකි. කම්කරුවන්ගේ එකමුතුව මෙතරම් හොඳින් පිළිබිඹු කළ රැලියක් තවත් දක්නට නොලැබුණු බව එකල දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේය.

කම්කරුවන්ට තම අරමුණ වෙනුවෙන් පෙළපාලි යාමට සහ රැස්වීම් පැවැත්වීමට ඇති අයිතිය නිල වශයෙන් පිළිගත් එකක් බවට පත් වුයේ 1956 ඛණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව විසින් මැයි 01දා රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගය. මෙම නිවාඩු දින යෝජනාව පිටුපස එවකට කම්කරු ආමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න මහතා ද වූ බව පැවසිය යුතුම කරුණකි.එතැන් සිට පැවැති වාමාංශික දේශපාලන පක්ෂ සහ වෙනත් ව්‍යාපාර යටතේ කම්කරුවන් වැඩි වශයෙන් සංවිධානය වන්නට පටන් ගත්හ.

ඔවුනට ඒ ඔස්සේ පෙරට වඩා තමන්ගේ සාමූහික ශක්තිය ප්‍රදර්ශන කරන්නට අවස්ථාවක් උදා විය. වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ සාකච්ඡා මඟින් රජයට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් තව තවත් කම්කරු අයිතීන් දිනා ගැනීමට මේ නිසා ඔවුන්ට අවස්ථාවක් ලැබිණි. ඒ සමඟම බණ්ඩාරනායක රජය මඟින් විශ්‍රාම වැටුපක් ලබන සහ නොලබන කම්කරුවන්ගේ විශ්‍රාමික දිවිය උදෙසා ජාතික අර්ථ සාධක අරමුදල ස්ථාපිත කිරීමද මේ කාලයේ කම්කරුවන් ලබා ගත් තවත් ජයග්‍රහණයකි. ඒ සඳහාද මුල්වුයේ කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතා සහ මහ බැංකුවේ අධිපති ඩී.ඩබ්. රාජපතිරණ මහතාය. නමුත් අප මේ ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට කලක් ගත වෙත්ම මැයි දින සැමරුම දේශපාලන පක්ෂ වල අත්අඩංගුවට පත් විය. ඒ සමඟම කම්කරුවන්ගේ වර්ණයද දේශපාලන පක්ෂවලට අයත් වර්ණය බවට පත් වූයේය.

මෙහිලා දක්නට ලැබුණු අපූර්වත්වය වූ කම්කරු දිනයට ආවේණික රක්ත වර්ණය කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන පක්ෂ ගණනාවක් අතරේ බෙදී යෑමය. එහෙයින් අවසානයේ දක්නට ලැබුණේ සමස්ත කම්කරු ප්‍රජාවම ඒ ඒ පක්ෂ නායකයන්ගේ අරමුණු සහ වර්ණ වෙනුවෙන් බෙදී සී සී කඩ වෙන්වී යෑමය. කම්කරුවා මෙකී දේශපාලන පක්ෂ වලට ගැති වීමෙන් මුදා ගැනීමට යම් යම් සංවිධාන වලට අවශ්‍ය වූ නමුත් එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් වුයේ නැත.

නමුත් 1990 දශකයේදී මෙම උත්සාහය යම් පමණකට සාර්ථක වූයේය. ඒ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ වෘත්තීය සමිති කීපයක් ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. භඔඪක යන කෙටි නාමයෙන් හඳුන්වනු ලැබූ '' ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය" විසින් මෙම කාර්යයේ පෙරමුණ ගන්නා ලදී. ඒ CMU සහ CBEU යන වෘත්තීය සමිතිද පෙරටු කර ගනිමිනි.

ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන පෙළේ කර්මාන්ත හා වැඩ බිම් ගණතාවක් ආවරණය වන පරිදි වෘත්තීය සමිති 17ක් එක්සත් පෙරමුණකට ගෙන ඒමට ඔවුනට හැකි විය. ඒ එකමුතුවේ ප්‍රධානත්වයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී වසර තුනක් අඛණ්ඩව මැයි දිනය පැවැත්වීමේ හැකියාව ඔවුනට ලැබී තිබිණි. ඒ මැයි සැමරුම උදෙසා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද, එම්. ජී. මෙන්ඩිස් මහත්තාගේ නායකත්වය යටතේ සහභාගි වූ බව විශේෂයෙන් පිහිපත් කළ යුතුව ඇත.



සාමාන්‍යයෙන් කම්කරු ජනතාව ඒකරාශිව සිටීම ධනපති පක්ෂ හා භාඕ පුතුන් යම් පමණකට  අකමැතිය. එහෙත් කම්කරුවන් එකමුතුව සිටීමට ඊට වඩා අකමැත්තක් තිබූ කම්කරුවන් ද විය. එබැවින් ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මෙම විශිෂ්ට උත්සාහය අවසානයේ කම්කරුවන් විසින්ම කඩාකප්පල් කළහ.නමුත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර වෘත්තිය සමිති අග්‍රස්ථ සංවිධාන සමඟ සම්බන්ධවීම වැනි කම්කරු ක්ෂේත්‍රයේ ඓතිහාසික වර්ධනයක් ඇති කර ගැනීමට මෙරට කම්කරු සංවිධානය සමත් වුයේය. මේ හේතුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත් වීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ කම්කරුවන් මුහුණ දුන් ගැටලු ගණනාවක් විසඳා ගැනීම සඳහා නව නීති රීති ඇතිකර ගැනීමට ඉවහල් විය.

මේ රටේ මැයි දින ඉතිහාසය තුළ ආගමික හේතූන් මත දෙවතාවක් එය කල් දැමීමට ද දේශපාලනික ගැටුම් නිසා එක් වතාවක් මැයි දිනය නොපැවැත්වීමට ද සිදු වී තිබේ. ඉන් පළමු වැන්න 1967 මැයි 01දාය. එය මැයි 02දාට කල්ගිය අතර, 2018 මැයි 01දා මැයි 07 දාට කල් ගියේය. වෙසක් පොහොය යෙදී තිබීම නිසා මෙම කල් දැමීම් සිදු වූ අතර, 80 - 89 කාලයේ පැවැති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැයි දිනය පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.

තවත් මැයි දිනයක් ආරම්භ කොට සුළු වේලාවකින් නවතා දැමීමට සිදු වූයේ එවකට ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ආමර් වීදියේදී කොටි ත්‍රස්ත්‍රවාදියෙකුගේ බෝම්බයකට හසුව ජීවිතක්ෂයට පත් වූ බැවිනි. ඉන් අනතුරුව 2020 – 2022 අතර කාල පරිච්ඡේදය මැයි රැළි පමණක් නොව අවමංගල්‍ය උත්සව පවා පැවැත්විය නොහැකි තත්ත්වයක් වූයේ ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය හේතු කොටගෙනය.

මානව සංහතියම ආපස්සට ඇද දමන කොවිඩ් - 19 වැනි ගැටලු උදෙසාද කල් පවත්නා, යථාර්ථවාදී විසඳුම් සොයනු පිණිස අද වන විට වැඩ කරන ජනතාව කැප වී සිටිති. කම්කරුවන් මේ මොහොත වන විට නවීන තාක්ෂණයත් සමඟ ලෝකය තුළ පෙරට වඩා තීරණාත්මක කාර්යභාරයක නිරතව සිටී. එබැවින් ලොවපුරා සිටින කම්කරුවන් සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාවද, සමාජ ප්‍රගතියේ හවුල්කරුවන් ලෙස තමන්ගේ භූමිකාව යාවත්කාලීන කරගත යුතුය.

(තිස්ස ප්‍රේමසිරි)