කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී පෙරේදා (4) සොයාගත් බව විල්ගමුව පොලිසිය සදහන් කරයි.මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ

තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක කළ හැකි රතු පැහැති පැල්ලම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය පැවැසීය.

එම පැල්ලම්වල සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි. තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තාගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් දින දෙකකට යැයි කියා පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම වෑන් රථය ඉල්ලාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිගිති නමැත්තාගේ මස්සිනා ඊට කලින් මෝටර් රථයක් මෙම ස්ථානයෙන් කුලී පදනම මත රැගෙන ගොස් එය නැවත බාරදී විල්ගමුවෙන් සොයාගත් මෙම වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය සඳහන් කළේය.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෝටර් රථය ද පරීක්ෂා කර බැලීමෙන් ලේ පැල්ලමක් යැයි සැක කළ හැකි පැල්ලමක් තිබී සොයාගෙන තිබිණි.විල්ගමුව සතිපොළට හැරෙන හන්දියේ ඒ.ටී. එම් යන්ත්‍රය අසල දින දෙකක් තිස්සේ සිට අයිතිකරුවකු නොමැති සැකකටයුතු වෑන් රථයක් තිබෙන බවට විල්ගමුව පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මෙම වෑන් රථය සොයාගෙන ඇත.

මෙම වෑන් රථය විල්ගමුව ප්‍රදේශයට ගෙනැවිත් දැමුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකරු සිඟිති නමැත්තා ඔහුගේ මස්සිනා ඇතුළු පිරිස විල්ගමුව ප්‍රදේශයේ සිටින බවට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් නොමග යැවීමට විය හැකි යැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට සැක මතු වී ඇතැයි කියති. වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා මෙම තරුණයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අමතරව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.



මීට අමතරව පොලිස් බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් ද සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කිරීමට යොදවා තිබෙන බව කුලියාපිටියෙන් ලැබෙන පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. අතුරුදන්ව සිටින තරුණයා ගැන හෝ ඔහු අතුරුදන් කිරීමට සම්බන්ධ සිඟිති නමැත්තා ඇතුළු අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය